Friday, 24 June 2016

ජාන වෙනස් කරන ලද ආහාර ශරීරයට නුසුදුසු වන්නේ ඇයි?

අද අප ජීවත්වෙමින් සිටින්නේ පෙර නොවූ විරු යුගයකය. හැම අතින්ම එය ආශ්චර්ය දනවන්නකි. අහස් ඉම තරණයට ඉදිවන දැවැන්ත බිල්ඩිං සේම මහපොළොව ගොළු කරන මහා ජල කදන් ද ඊට සාක්ෂි දරයි. ඉදිවෙන මෙගා නගර වර්ණවත් කරන මෙගා මෝල් මෙන්ම නිමනොවන වැසි, ද ඊට පසුව පැමිණෙන නියඟද මෙම ආශ්චර්ය මොනවට කියා පායි. මෙම මහා සංස්කෘතියෙහි මැවුම්කරුවා මෙගාප්‍රොෆිට් නම් වෙයි.


අප පුරුදුව සිටියේ විශාල දේ හොඳය, හොඳ දේ පැමිණෙන්නේ පිටරටින්ය කියාය. එනයින් ලොකු අල රට අලය, ලොකු `ඵණු රට `ඵණු ය. එම සමීකරණයට අනුව දැන් අපට තව තවත් සතුටුවිය හැක. මක්නිසාද අප වෙළඳසැල් පෙනුමෙන් ලස්සන, ප්‍රමාණයෙන් විශාල, කාලයෙන් දිගු-කාලයක් තබාගත හැකි පිටරටින් ගෙන්වන බීජ වලින් නිපදවන එළවළු සහ පළතුරු වලින් පිරී යමින් තිබීමයි. මෙම ආහාර හඳුන්වන්නේ ජාන විකෘති කරන ලද ආහාර/ජීවීන් (Genetically Modified Food/Organism-G.M.O) යනුවෙනි. ඇත්තටම මෙම ආහාර/ජීවින් අපේ ශරීරයට හිතකර ද? අපි ඉදිරියේ විමසා බලමු.

අපේ සමාජය දිනෙන් දින ලෙඩවෙමින් පවතී. එය සෞඛ්‍ය වාර්තා මෙන්ම ජනසමාජයේ අප ජීවත්වන විට ද අත්දකින යථාර්ථයකි. අතිතයේ අපට වැඩියෙන් අසන්නට ලැබුනේ බෝවන රෝග ගැනය. එහෙත් වර්තමානයේ අපේ සමාජ වෙලා ගනිමින් තිබෙන්නේ බෝනොවන රෝග මඟිනි. අතිතයේ පිටරටවල තිබුණු රෝග දැන් ලංකාවට පැමිණ ඇත. නගරයේ තිබුණු රෝග දැන් ගම්බදින් ද ඇසේ. මේවායින් දියවැඩියාව, අධික රුධිර පීඩනය, අක්මාවේ තෙල් තැන්පත්වීම, හෘදයාබාධ සහ වකුගඩු රෝග බහුලය. ඒවාගේම මෙම රෝග වැලදුන විට සුව වන්නේද නැත. තාවකාලික සහනයක් ඇරෙන්නට ජීවිත කාලය පුරාම බෙහෙත් ගැනීමට සිදුවෙයි.

මනුෂ්‍ය ශරීරය යනු සම්පූර්ණයෙන්ම සොබාදහමේ නිෂ්පාදනයකි. මනුෂ්‍ය ජීවිතය යනු සොබාදහමේ තවත් එක් ප්‍රකාශ වීමක් මිස එහි ප්‍රකාශකයෙක් නොවේ. සොබාදහම සහ මිනිසා යනුවෙන් වෙන්කර හඳුනාගත හැකි ප්‍රපංචයන් දෙකක් ද නොමැත. සොබාදහමම මිනිසාය. එසේ නම් මෙවැනි රෝග මතුවන්නේ ඇයි දැයි ප්‍රශ්ණයක් මතුකල හැක. ඊට වෛද්‍යවරුන්ගේ පිළිතුර නම් කෘතිම රසායනික ද්‍රව්‍ය යන්නයි.

මිනිස් මනස සැමවිටම සොබාදහමෙන් අපව වෙන්කළ අතර සොබාදහම ජය ගැනීම එහි එක් අරමුණක් විය. ස්වභාවිකව කුඩාවට ඵලදරන දෙය ප්‍රමාණයෙන් විශාල කිරීමට ඔහුට අවශ්‍ය විය. මක්නිසාද එවිට බර වැඩි වෙයි. ලබාගත හැකි මිල ද වැඩි වෙයි. ඉක්මනින් නරක් වන දේ නරක් නොවී තබා ගැනීමට අවශ්‍ය විය. මක්නිසාද එවිට ලාභය උපරිම කර ගත හැක. එහි ආකර්ශනය ද  වැඩිකරන ලදි. එවිට ඉල්ලුම වැඩිවෙ යි. මේ සියල්ල ලාභයේ භාෂාව යි. මේ සඳහා ඔවුන් සොයාගත්  තාක්ෂණය ජාන ඉන්ජිනේරු විද්‍යාවයි
(Genetic Engineering). ඊට අනුව මේ ශාක සහ සතුන් සඳහා තව රසායනිකයන් යොදාගත යුතුය. මෙම රසායනිකයන් පොහොර ලෙස හඳුන්වන අතර ඒවා පොළොව මාර්ගයෙන් ආහාරයට පැමිණ ශරීරගත වෙයි. මෙම රසායනික ද්‍රව්‍ය සොබාදහමේ පැවති ඒවා නොවේ. ඒවා කෘතිමව නිෂ්පාදනය කරන ලද  ද්‍රව්‍යය ය. මෙම කෘතිම රසායනිකයන් ශරීරයට අවශෝෂණය කර ගත නොහැක. ඒවාගේම ඒවා ඉවත්කිරීමට ද, ශරීරයට ක්‍රමයක් නැත. සාමාන්‍යයෙන් ශරීරයේ අපද්‍රව්‍ය ඉවත්කරන්නේ අක්මාවෙන් සහ වකුගඩු වලිනි. අක්මාවේ දී රසායනිකයන්ගේ ව්‍යුහය වෙනස් කොට වකුගඩුවෙන් පෙරා ඉවත්කරයි. නමුත් මෙම රසායනික ද්‍රව්‍ය ඉවත් නොවේ. ඒවා ශරීරය තුළ තැන්පත් වේ. මෙසේ තැන්පත්වන රසායනිකයන් ශරීරය ලෙඩ කරයි. වල්පැලෑටි නැසීම සඳහා යොදාගන්නා වල්නාශක වල ග්ලයිපොසෙට් (Glyposet) අඩංගුය. එය පිළිකා කාරකයකි. කැඞ්නියම් (Cadnium) වලින් වකුගඩු අමාරු හැදෙයි.


ජාන වෙනස්කිරීම යනු කුමක් ද?
අපගේ ශරීරය සැදී ඇත්තේ සෛල වලිනි. මෙම සෛලයන්ගේ ඉතාම කුඩා ඒකකය න්‍යෂ්ටිය ලෙස නම්කර ඇත. එම න්‍යෂ්ටිය තුල ක්‍රෝමසොම (Chromosomes) ඇත. ක්‍රෝමසෝම 23කි. එමගින් මිනිස් හැඩරුව ලබාදෙයි. මෙම අංකය වෙනස් වු විට හැඩයද වෙනස් වෙයි. සතෙකුට ඇත්තේ වෙන අංකයකි. ක්‍රෝමසෝම තුල ජාන ඇත. දේහ ලක්ෂණ තීරණය කරන්නේ මෙම ජාන වලිනි. එක් ජානයකින් එක් දේහ ලක්ෂණයක් නොව බොහෝ ලක්ෂණ තීරණය වෙයි. මෙම ජාන වෙනස්කිරීම (edit), ඉවත් කිරීම (remove) සහ එකතු කිරීම (add) සඳහා විවිධ ක්‍රමඋපායන් විශාල ප්‍රමාණයක් මේ වනවිට සොයාගෙන ඇත. මෙම තාක්ෂණය 1970 වසරේ සිට වේගවත් වූවකි. එය ජීව ඉංජිනේරු විද්‍යාව ලෙස හඳුන්වයි. කරවිල ගෙඩියක් ලොකු කිරීම සඳහා එක ජානයක් වෙනස් කල විට එම විද්‍යාඥයින්ටද නොදැනීම ලක්ෂණ විශාල ප්‍රමාණයක් වෙනස් විය හැක. එම වෙනස්වීම අපගේ ශරීරයට අහිතකර විය හැක. එවිට ඒවා අපගේ ශරීරය තුල එකතු වෙයි. එම සංයෝග අක්මාවෙන් බිඳ දමා වකුගඩු වලින් පෙරා ශරීරයෙන් බැහැර කල නොහැක. මෙම අස්වාභාවික ආහාර නිසා ස්වභාවික ශරීරය ලෙඩවෙයි. එය හරියට පැට්‍රල් කාර් එකට ඩීසල් දැම්මා වගෙයි.  ටික දුරක් ගොස් නතර වෙයි. කොපමණ උත්සාහ කලත් මෙම කෘතිම රසායනිකයන් ශරීරයට ඉවත්කළ නොහැක . එය අප සමාජය තුල අත්දකින මවිත කරවන මියයාම් වල සිට වෛද්‍යවරුන් ගොළු කරන, කිසිවෙකුටත් සොයාගත නොහැකි වු අහේතුක අසනීප වල සහේතුකය මෙම තාක්ෂණය තුල සැගවී ඇත? 

අප අතීතයේ නොඇසු එහෙත් වර්ථමානයේ ඉතා බහුල රෝගයකි අක්මාවේ තෙල් තැම්පත්වීම නොහොත් (Fatty Liver) අතීතයේදී මෙම රෝගය ස්ථුල අයට තිබුණත් එහි දී තෙල් තැම්පත් වුයේ අක්මාවෙන් පිටය. නමුත් දැන් තෙල් තැම්පත් වන්නේ අක්මාව තුලය. ඒ හේතුවෙන් ටික කලක් යනවිට අක්මාව හැකිලෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිරෝසියස් නම් රෝගය වැලදෙයි. අප අසා ඇති පරිදි සිරෝසියස් හැදෙන්නේ බොහෝ මත්පැන් ගත් විටය. නමුත් වර්ථමානයේ බහුල සිරෝසිස් සඳහා ඇල්කොහොල් අදාල නොවෙයි. එය හදුන්වන්නේ Non-Alcoholic Cirrhosis නමිනි. වෛද්‍යවරුන් ප්‍රකාශ කරන ආකාරයට ජාන විකෘති කරන ලද මිරිස් මීට එක් හේතුවක් බව හදුනාගෙන ඇත. එය ස්ථුල භාවයටද හේතු වේ. මෙය ඔබටම අත්දැකිය හැකි බව ඔවුන් ප්‍රකාශ කරයි. ඒ සඳහා මාස 2ක් පමණ මෙම මිරිස් ආහාරයට නොගෙන,  අක්මා පරීක්ෂණයකින් ඔබටම වෙනස අත්දැකිය හැකියි. තෙල් හැදුනට පස්සෙ මෙම ආහාර ගත්තොත් දිගටම තෙල් තැන්පත් වෙනවා. ඒ නිසයි ලෙඩ සුව නොවී ජිවිත කාලය පුරාම බෙහෙත් ගන්න වෙන්නෙ. තමන්ගේ ආහාර පුරුදු වෙනස් කිරීමෙන් පමණයි මේවාට උත්තර සෙවිය හැක්කේ.

ඊළඟට සීග්‍රයෙන්ම පැතිරෙන රෝගය බවට පත් වී ඇත්තේ දියවැඩියාවයි. අතීතයේ සොයා ගත් සහ සොයා නොගත් දියවැඩියා රෝගීන් පැවතියේ 2% පමණය. වර්තමානයේ එය 15% ක මට්ටම දක්වා ඉහළගොස් ඇත. වසර 2020 වනවිට මෙම ප්‍රතිශතය දෙගුණ විය හැකි බව ප්‍රකාශ වෙයි. ගෝලීයව 2035 වන විට මිලියන 592 දක්වා ඉහල යනු ඇතැයි පුරෝකථනය කරයි. දියවැඩියා රෝගය සුවකර ගැනීම සඳහා ආහාර පුරුදු ඉතා වැදගත් බව ප්‍රචලිත කරුණකි. නමුත් ඒ මොන ආහාරදැයි නොයෙක් හේතූන් නිසා ප්‍රකාශ නොවෙයි. ඉරිඟු (පාන්පිටි), එළවළු තෙල් සහ පරිප්පු මෙහිදී ප්‍රධාන තැනක් ගනියි. මෙම ආහාර ත්‍රිත්වය ලාංකික ආහාර සංස්කෘතියේ ද ප්‍රධාන තැනක් උසුලයි. ඉස්සර පාන් සෑදීම සඳහා යොදා ගත්තේ ඉරිඟු පිටි පමණි. එම පාන් තබා ගත හැක්කේද දිනක් පමණි. නමුත් දැන් ඊට එළවළු තෙල්, මාගරින් මිශ්‍ර කරයි. එවිට පාන්ගෙඩිය මෘදුවෙයි. කල්තියා ගත හැකියි. රසත් වැඩිවෙයි. ඉරිඟු පිටි වල ග්ලූටන්
(Gluten) ඇත. පාන්පිටි වලට ඇලෙන/ඇදෙන සුලු ස්වභාවය ලබාදෙන්නේ මෙයිනි. හාල්පිටි වල ග්ලූටන් නැත. එනිසා ඊට වතුර දැමූ විට ඇදෙන්නේ හෝ ඇලෙන්නේ නැත. ග්ලූටන් තිබෙන ආහාර ලෝකයේ තිබෙන්නේ හතරකි. ඉරිඟු, රයි, ඕට්ස් සහ බාර්ලි ය. ග්ලූටන් දියවැඩියා කාරකයක් බව විදේශිකයන් දනියි. ඒ නිසා විදේශයන්වල ග්ලූටන් වලින් නිදහස් ජීවන විලාශයන් (Gluten Free Life) ගොඩනැගී ඇත. ඉරිඟුවල ජාන විකෘති කිරීමත් සමඟ දැන් එහි ග්ලූටන් ප්‍රතිශතය 8% සිට 12% දක්වා වැඩිවී ඇත. දියවැඩියාවට පමණක් නොව ඉරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන ගැස්රයිටීස් රෝගය සඳහා ද නුසුදුසුය.


ශාකවලින් ලබා ගන්නා මේද හඳුන්වන්නේ අසංතෘප්ත මේද යනුවෙනි. කෝන්, සන්ෆලවර්, ඔලිව්, පාම් තෙල් මේවා අපගේ වෙළඳපොලේ හමුවන ශාක තෙල් විශේෂයන්ගෙන් කිහිපයකි. අසංතෘප්ත මේද මගින් නිෂ්පාදනය වන ධන (+) ආරෝපණ ශරීරය තුල ක්‍රියා කිරීමෙන් ලෙඩරෝග වැළඳේ. අධික රුධිර පීඩනයටද මෙය බලපායි. බොහෝ විට දියවැඩියාව ඇති අයට අධික රුධිර පීඩනයද ඇත. මක්නිසාද එය හැදෙන්නේ එකම ආහාරවලින් වීමයි. පිරිසිදු ජාන මාරු නොකරන ලද පොල්තෙල් සංතෘප්ත මේදයකි. එය ශරීරයට අහිතකර නොවේ. ජාන වෙනස්කරන ලද ප්‍රමාණයෙන් විශාල පරිප්පු ද දියවැඩියාකාරකයක් බව සොයාගෙන ඇත.


ආහාර, ලෙඩරෝග, බෙහෙත් මේවා එකම දම්වැලක පුරුක් ය. නව ජාන තාක්ෂණය ඔස්සේ  නිපදවෙන්නේ ආහාර පමණක් නොවේ. ලොඩරෝග ද නිපදවයි. මෙය හොඳ ලාභදායි ව්‍යාපාරයකි. ආහාර මගින් ඉන්ද්‍රියයන් ලෙඩකර එම ඉන්ද්‍රියයන් රසායනාගාරය තුළ නිපදවා අළෙවි කල හැක. නූතන විද්‍යාවට අනුව පටකයක් ලියුම් කවරයක දමා තැපැල් කළවිට අක්මාවක් තැපෑලෙන්ම ලබා ගත හැක. ඒවාගේම බෙහෙත් යනු අති දැවැන්ත ව්‍යාපාරයකි. ලෝකයේ ලාභ අධිකම ව්‍යාපාරවලින් එකක් ලෙස සැලකෙන්නේ ඖෂධ ව්‍යාපාරයයි. අධික ලාභයත්, අසීමාන්තික තරඟයත්, බලහත්කාරීත්වයත් ආගමක් වී ඇති නූතන සමාජයේ මනුෂ්‍යයා යනු පාරජාතික සමාගම්වල පරීක්ෂණාගාර මීයන් බවට පත් වී ඇත. මෙම වෙළඳපල මර උගුල් වලින් ගැල වී ජීවත්වීම අභියෝගයකි. එම අභියෝගය ජය ගැනීමටනම් නව ජීවන දැක්මක් මෙන්ම භාවිතය ද අත්‍යවශ්‍යය.




රුවන් බස්නායක
*2016 ජූනි මස අග්‍රහාර පුවත් සඟරාවේ පළ කරන ලද ලිපියකි
 


 මූලාශ්‍ර-