පියඹා යන මිනිසුන්, තියුණු උල් මත පැන දුවන්නන්, බිත්ති මත ඇවිද යන්නත් මෙන්ම නොකැපෙන ශරීර ඇත්තන්ද පිළිබඳව ඔබ අසා දැන හෝ සිනමා තිර මත නරඹා තිබෙනවා විය හැක. මෙවැනි දක්ෂතා අපට මුණ ගැසෙන්නේ පෙරදිග සටන් කලාව තුළය. බොහෝ විට සිදු වන්නේ මිත්‍යා ලෙස බැහැර කරමින් මෙම මාවතින් ඉවත්ව යාමය. කලාතුරකින් හෝ මේ දෙස හැරී බලන්නෙකුට මෙම දක්ෂතා මිනිස් කය, මනස සහ ශක්ති පුහුණුවේ එක් අවධියක ප්‍රකාශමාන වීමක් ලෙස කියවා ගත හැක.
මෙම මාවතෙහි ගමන් අරඹන්නෙකුට සටන් කලා සාහිත්‍යය මෙන්ම එහි දර්ශනයද හදාරා එහි රස විඳ ගත හැක. නමුත් ඔබ තවමත් රැඳී සිටින්නේ ලෙන් දොර අබියසය. ඉන් නොනැවතී එහි දොරගුළු විවෘත කරමින් ඊට ඇතුළු වන්නෙකුට මෙම ආශ්චර්යවත් කලාවේ අන්‍තයක් නොමැති ගමනක ප්‍රථම පියවර තැබිය හැක. එහිදී පුහුණුව යනු නිරතුරුව තමාට මුණගැසෙන තමාගේම සීමාවන් පසු කර යාමට තමා සමග කරන අනවරත සටනකි. එහිදී ධෛර්යය, අධිෂ්ඨානය, කැපකිරීම, ඉවසීම, දරාගැනීම, ඉඩදීම, බලා සිටීම යනු හුදු සංකල්ප පමණක්ම නොව මිනිස් ශක්තීන් උරගා බැලෙන වැඩබිමක ජීවිතය අඹන අවිය. මෙහිදී ප්‍රතිවාදියා යනු තමාගේම අනේකත්වය මිස පරාජය කළ යුතු සතුරෙකු නොවන්නා සේම පරිපූර්ණත්වයට මග හෙළි කරන මග හැරිය නොහැකි ප්‍රතිබිම්බයයි. නමුත් පොදු සමාජ කතිකාව තුළ සටන් කලාව ස්ථානගත වී ඇත්තේ හිංසන උපකරණයක් ලෙසිනි. දුබලයා යටපත් කර ප්‍රබලයා උත්කර්ෂයට නැංවෙන පීඩක පීඩිත ව්‍යුහයක ගති ලක්ෂණ කියා පාන්නකි. නමුත් සටන් කලාවේ සැබෑ භුමිය පවතින්නේ සතුරා/මිතුරා, ශක්තිවන්තයා/දුබලයා, පීඩකයා/පීඩිතයා,ජය/පරාජය යන ද්වෛතයන්ට ඔබ්බෙහිය. තමා තුළ හමුවන මෙම අන්තයන් පසු කර පැවැත්මේ මූලය ස්පර්ශ කිරීම සටන් කලා පුහුණුවේ අරමුණයි.
චීන සටන් කලාවේ ඉතිහාසයන්
(බෝධිධර්ම හිමි)
චීන සටන් කලාව අතු පතර විහිදුනු මහා වෘක්ෂයක් වැන්න. එය වසර දහස් ගණනක් පැරණි මෙන්ම විවිධ සංස්කෘතීන්, සම්ප්‍රදායයන්, භූගෝලීය වෙනස්කම් ඔස්සේ මෙන්ම විවිධ දර්ශනවාදයන්ගෙන්ද පෝෂණය ලැබූවකි. එහි ඉතිහාසය හදාරන්නෙකුට හමු වන එක් ප්‍රධාන කථාවකි දකුණු ඉන්දියාවේ සිට චීනයට පැමිණි බෝධිධර්ම හිමියන්ගේ (ක්‍රි. පූ 5-6 ශත වර්ෂය) පුරාවෘත්තය.
කලාරි (Kalari) නැතහොත් කලාරිප්පයට්ටු (Kalarippayattu) යනු ඉන්දියාවේ ඉපැරැණි සටන් කලාවයි. කලාරි යන පදයද දමිළ භාෂාවේ කලාම් (Kalam) යන්නෙන් බිඳී ආවකි. එහි අර්ථය නම් පද්ධතිය / සංවෘත, අවකාශය හෝ පාසැල යන්නයි. පයාට් (Payat) යනු පුහුණු කළ යුතු යන්නයි. කලාරි යන්නෙහි හිස් අත යන අර්ථයද ගැබ් වී ඇත. කලාරි සටන් කලාවේ සහ වර්ම කලාවේ (නිල සුව කිරීම්) ආරම්භකයා ලෙස සැලකෙන්නේ අගස්ථියර් මුනිය. වසර 10 000 කටත් වඩා පෙර ඉතිහාසයකට දිව යනවා යැයි සැලකෙන ශිවගෙන් ඇරඹුන යෝග විද්‍යාව ලොව පුරා රැගෙන ගිය ප්‍රධාන ඍෂිවරු 7 දෙනෙකු පිළිබඳව සඳහන් වේ. ඔවුන්ගෙන් දකුණු ආසියානු කලාපයට ශිෂ්ටාචාර මූලයක් රැගෙන ආ මුනිවරයා ලෙස සැලකෙන්නේ අගස්ථියර් ය.
(අගස්ථියර් මුනි)
සතුන්ගෙන් සහ මං පහරන්නන්ගෙන් ආරක්ෂා වීමට සංචාරක භික්ෂූන් සටන් කලාව හැදෑරීම පුරාණ ඉන්දියාවේ බහුලව සිදු වූවකි. කලාරි සටන් කලාවේ නිපුණයෙකු වූ බෝධිධර්ම හිමි චීනයට පැමිණ ඇත්තේ පාගමනිනි. චීනයට පැමිණි බෝධිධර්මයන්ට ෂඕලින් ආරාමයට ඇතුළු වීමට අවසර ලැබී නොමැත. අසල ගල් ලෙනක බිත්තියක් දෙස බලාගෙන වසර 9ක් භාවනාවේ යෙදී සිට ඇත. ඉන් උද්දාමයට පත් ෂඕලින් භික්ෂූන් බෝධිධර්ම හිමියන්ට ආරාමයට ඇතුළු වීමට අවසර ලබා දී ඇත. එම යුගයේ චීන බුදු දහම පදනම් වී ඇත්තේ සූත්‍ර කියවීම මත පමණි. බෝධිධර්ම හිමියන්ගේ බිත්තියට මුහුණ පා කරන භාවනාව ආරාම භික්ෂූන්ගේ ආරාධනයෙන් ඉගැන්වුවද එහි උග්‍ර බව සහ දිගු කාලයක් එක් ඉරියවුවක නොසෙල්වී පුහුණු කළ යුතු වීම නිසා ඊට අවශ්‍ය ශක්තිය සහ ඉවසීම ඔවුන් තුළ නොතිබිණි. එය ජය ගනු වස් ඉන්දියානු හුස්ම ගැනීමේ අභ්‍යාස සහ සටන් කලාව පුහුණු කරවා ඇත. වර්තමානයේ ලොව පුරා ෂඕලින් ශෛලිය (Shaolin Quan) නමින් ප්‍රසිද්ධව ඇත්තේ මෙසේ ඇරඹුණු පුහුණු ක්‍රමයයි.
බෝධිධර්ම හිමියන් විසින් හඳුන්වා දුන් භාවනා ක්‍රමය ධ්‍යාන ලෙසින් හඳුන්වයි. සංස්කෘත වචනයක් වන ධ්‍යාන (Dhyana) යන්නෙහි අර්ථය ඒකාග්‍රතාවය (One-Pointedness) යන්නයි. චීනයේදී මෙම පදය ශබ්ද කෙරුණේ (Chan) නමිනි. එය ජපානයේදී සෙන් (Zen) නම් විය. චීනයේදී චාන් සහ සෙන් බුදුදහම ඇරඹුනේ මෙලෙසිනි. ජපානයේ සටන් කලාව හැඳින්වෙන්නේ "කරාතේ" නමිනි. එම වචනයෙහි අරුතද හිස් අත යන්නය. ජපානයේදී "කලාරි" කරාතේ දක්වා විකාශය වී ඇත. ඉන්දියානු "කලාරි" පෙරදිග සටන් කලා සංස්කෘතිය ගොඩනැගීමෙහි ලා කළ බලපෑම මින් මොනවට පැහැදිලි වේ.
බෝධිධර්ම හිමියන් චීනයට රැගෙන ගියේ සටන් කලාව පමණක්ම නොවේ. ඒ හිමියන් අත සූත්‍රයක්ද විය. එය නමින් ලංකාවතර සූත්‍රය නම් වේ. චීනයෙහි බුදු දහම ප්‍රචලිත කිරීමෙහි ලා යොදා ගැනුණු ප්‍රධානතම සූත්‍රය එය ලෙස සැලකෙයි. එය වර්තමානයෙහිද චීනයෙහි ප්‍රධානතම සූත්‍රයකි. එම සූත්‍රය ලංකාවේ සිරිපා කඳු මුදුනෙහිදී බුදුන් විසින් යක්ෂ ගෝත්‍රිකයන්ට දේශනා කරන ලද්දකැයි සඳහන් වෙයි.
රුවන් බස්නායක
මතු සම්බන්ධයි.
This comment has been removed by the author.
ReplyDeleteවැදගත් වැඩක්. මෙම ලිපියේ කියවෙන දේවල් තවත් විස්තර කරමින් ලියවෙනවානම් කැමතියි. // කලාරි (Kalari) නැතහොත් කලාරිප්පයට්ටු (Kalarippayattu) යනු ඉන්දියාවේ ඉපැරැණි සටන් කලාවයි. කලාරි යන පදයද දමිළ භාෂාවේ කලාම් (Kalam) යන්නෙන් බිඳී ආවකි. එහි අර්ථය නම් පද්ධතිය / සංවෘත, අවකාශය හෝ පාසැල යන්නයි. පයාට් (Payat) යනු පුහුණු කළ යුතු යන්නයි. // මේවා ගැන විස්තරාත්මකව ලියවෙන එක සටන් කලාවේ පරමාදර්ශයන් වෙනුවෙන් පෙනී ඉන්න මනුෂ්‍යයින්ට හයියක්.
ReplyDelete