Wednesday, 25 January 2017

Before The Flood


Before the Flood, presented by National Geographic, features Leonardo DiCaprio on a journey as a United Nations Messenger of Peace, traveling to five continents and the Arctic to witness climate change firsthand. He goes on expeditions with scientists uncovering the reality of climate change and meets with political leaders fighting against inaction. He also discovers a calculated disinformation campaign orchestrated by powerful special interests working to confuse the public about the urgency of the growing climate crisis. With unprecedented access to thought leaders around the world, DiCaprio searches for hope in a rising tide of catastrophic news.

Before the Flood presents a riveting account of the dramatic changes now occurring around the world due to climate change, as well as the actions we as individuals and as a society can take to prevent the disruption of life on our planet. Beyond the steps we can take as individuals, the film urges viewers to push their elected officials in supporting the use of alternative energy sources such as solar and wind power.

The carbon emissions from Before The Flood were offset through a voluntary carbon tax. 

The film is directed by Fisher Stevens and produced by Leonardo DiCaprio, Fisher Stevens, Jennifer Davisson and Trevor Davidoski with Brett Ratner and James Packer of RatPac Entertainment. It was written by Mark Monroe and Executive Produced by Martin Scorsese, Adam Bardach, Mark Monroe, and Zara Duffy. The Director of Photography is Antonio Rossi. The Executive Music Producers are Trent Reznor and Atticus Ross with original music by Trent Reznor and Atticus Ross, Mogwai and Gustavo Santaolalla

Monday, 2 January 2017

ජපන් සොබාදහම් ගොවියා - මසනොබු ෆුකුඕකා

පරිවර්තනය මහාචාර්ය ඩබ් එම් ගුණතිලක


වසර 30 ක් පමණ සිය කුඹුරු සාන්නේ නැතිව සාර්ථක ලෙස වී, ශීත කාලීන ධාන්‍ය හා පැඟිරි පවුලේ වගාවන් සාර්ථක ලෙස ස්වාභාවික ගොවිතැන් ක්‍රමය අනුගමනය කරමින් කළ මසනොබු ෆුකුඕකා සමගින් මව්බිම පුවත් සංස්කාරක යන් කළ සම්මුඛ සාකච්ඡාව.

තම හැඩපලු ගෙතුණු දිගු යටි රැවුලද, මෘදු සිහින් කටහඬද, සාම්ප්‍රදායික ගොවි ඇඳුමද සහිතව සිටින විට, නූතන ක්‍රමයේ “සාර්ථක” ගොවියකු සේ නොපෙනෙනු ඇත. බැලු වනම පෙනෙන ගස්වල එතී ගිය වැල් සහිත එන්සාල් පඳුරු හා ධාන්‍ය සහිත කැලෑවක් වැනි ඔහුගේ කුඹුරු දකින විට ඒවා ජපානයේ සාරවත්ම බිම් කොටස් යැයි කෙනෙකුට කිව නොහැක. ඒ සියල්ලම ඒ පුද්ගලයා හා ඔහුගේ සොබාදහම් ගොවිතැන් ක්‍රමය වටා එතී ඇති ප්‍රතිවිරුද්ධ ලක්ෂණයට අයත් ඒවාය.

ෆුකුඕකා සං, දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ කාලයේ පටන්, දකුණු ජපානයේ ෂිකෝකු දූපතේ මත්සුයම බොක්ක අසල ඊට මුහුණලා ඇති කඳු ගැටයක වී, ශීත කාලයේ ධාන්‍ය හා පැඟිරි වගාවන් කළේ සමහර අය පසුගාමී (හෝ මෝඩ යයි පවා) සලකන ක්‍රමවේදයක් භාවිත කරමිනි. එහෙත් ඔහු එම ක්‍රමයට වගා කොට ලද අස්වැන්න, ඔහුගේ අසල්වැසි ගොවීන් නූතන තාක්ෂණික ක්‍රම, රසායනික ක්‍රම යොදමින් කළ ගොවිතැනින් ලබා ගත් අස්වැන්න සමාන වූ හෝ ඊටත් වැඩි එකක් විය. ඔහු තම කුඹුරුවල වසර 30 ක් පමණ කාලයක් සී සෑමක් ද නොකළාය යන කරුණද අනුවය! ඔහු තම ගොවිබිමට සකස් කළ පොහොර- කාබනික පොහොර පවා යොදන්නේද නැත. වල් ගලවන්නේද නැත, කුඹුරු වලට වතුර හරවන්නේද නැත.

මොහු මෙම සොබාදහම හා සමීපතම වූ ගොවිතැන් ක්‍රමය සොයා ගත්තේ වසර ගණනාවක ගැඹුරු පර්යේෂණයකින් පසුවය. ඔහු විශ්වාස කරන්නේ අප අපගේ සාම්ප්‍රදායික විද්‍යාත්මක දැනුමේ සීමාවන්ගෙන් ඔබ්බට අපගේ බුද්ධිය මෙහෙයවා ජීවන ක්‍රියාවලින්ගේ සහජ බුද්ධිය ගැන විශ්වාසය තැබුවහොත්, අපට ධාන්‍ය වැවීම පිළිබඳව දැනගත යුතු සියළුම කරුණු දැනගත හැකි බවය. ඔහු පවසන්නේ ගොවියා සොබාදහමේ චක්‍රාකාර ක්‍රියාවලීන් පරිස්සමින් නිරීක්ෂණය කොට, එම රටාවන් පාලනය කොට ඒවා ජය ගැනීමට හික්මවීමට නොගොස්, එම රටාවන් අනුව වැඩ කළ යුතු බවය.

එම දර්ශනයට අනුකූලව, ෆුකුඕකා සං ගේ කුඹුරු වලින් දිස්වන්නේ ඕනෑම පරිසර වේදයක ස්වාභාවික කොටසක් වූ පැලෑටි ක්‍රියාවලියක් හා විවිධත්වයකි. වසන්ත ඍතුවේදී ඔහු ශීත ඍතුවේ ධාන්‍ය පැළෑටි අතර වී ද වගා කරයි. තව මද කලක් පසු වූ විට, එම මේරූ ගොයම් ගස් අතර ධාන්‍ය ඇට ඉසියි. එම උස පිදුරු ගස් හා උඳුපියලිය (ඇඹිලිය) පඳුරු නිසා, වල් පැළෑටි වැවිම වැළකී පස සරු වෙයි. ඊට අමතරව අපගේ උද්‍යාන පාලකයා කඳු අසල උද්‍යානයේ කප්පාදු නොකළ ගස් අතර, “කැළෑවට” එළවළු වගා කරයි. මෙබඳු අ-සාම්ප්‍රදායික ගොවිබිම්, සාම්ප්‍රදායික කෘෂි නිලධාරීන්ට ඉතා විනාශකාරී ඒවා ලෙස පෙනුණද, ෆුකුඕකා තමා වෙත එන “සැක සහිත” අමුත්තන්ට පවසන ලෙස “මාගේ ගොවිතැන් ක්‍රමයේ සාක්ෂි ඔබ ඉදිරියේම පරිණත වෙමින් පවති.”

වසර ගණනාවක් යන තුරුම, “පෙරදිග මහත්මයාගේ” අද්විතීය අදහස් ගැන දැනුවත්ව සිටියේ ඔහුගේම දේශයේ වුවද ස්වල්ප දෙනෙකු පමණි. එහෙත් 1975 දී, ඔහු “පිදුරු ගහේ විප්ලවය” නම් පොතක් පළ කළේය; එය පසුව One straw Revolution නම්න් ඇමරිකාවේ ඉංග්‍රීසි බසින්ද පළ විය. එතැන් පටන් ගොවිතැන ගැන ඔහුගේ මෙම අමුතු “නව” ආකල්පය ගැන දැන ගැනීමට බොහෝ අය උනන්දු වූහ. 1979 දී ෆුකුඕකා සං ඇමරිකාවේ දීර්ඝ සංචාරයක යෙදුණේය. ඔහු මැසචුසෙට්ස් හී ඇමර්ස්ට්වල සිටියදී විශ්ව විද්‍යල දේශන කිහිපයක් කළ අතර One straw Revolution ග්‍රන්ථයේ සංස්කාරක හා සොබාදම් ගොවිතැන හදාරන්නෙකු වු ලැරී කෝන් සමඟද පැය ගණනාවක දීර්ඝ සාකච්ඡාවක යෙදුණේය. එම සාකච්ඡාව මුලදි ජපන් බසින් කෙරුණු අතර, මෙහි ඉදිරිපත් කොට ඇත්තේ එහි ඉංග්‍රීසි අනුවාදයයි.

එම කියමන්වල “ප්‍රතිවිරුද්ධ” සේ පෙනීයන ලක්ෂණ නිසා ඔබට සමහර විට ගැටළුකාරී තත්වයක් පැන නගින්නට ඇත. එහෙත් අතාර්කික හෝ ප්‍රතිවිරුද්ධ කියමන් ශිෂ්‍යයන්ට ඉදිරිපත් කරන පෙරදිග දාර්ශනිකයන්සේ-ෆුකුඕකාද උත්සාහ කරන්නේ මිනිසුන්ගේ ඇබ්බැහිවූ සිතුවිලි රටාවන් ඛණ්ඩනය කොට නව සංජානනයන් වර්ධනය කිරීමට විය හැක. ඔහුගේ ගොවිතැන් ක්‍රමය “නුහුරු” සිතුවිලි විලාසයක් ඉල්ලා සිටින බැවින්, ෆුකුඕකා සං අනතුරු අඟවන්නේ, එය බියගුළු හෝ අලස අය සඳහා නොවන බවටය: “මාගේ ක්‍රමය නූතන කෘෂි තාක්ෂණයට සම්පූර්ණයෙන්ම විරුද්ධ එකක්. එය විද්‍යාත්මක දැනුමත්, සාම්ප්‍රදායික ගොවි නුවණත් ජනේලයෙන් ඉවතට විසි කරලා දානවා.” එම විප්ලවකාරී උද්ගමනය තුළින් ඉතිරි වන දෙය, වඩාත් සරළ ගොවිතැන් ක්‍රමයක් පිළිසිඳ ගනු දැකීමට ආශා කරන අයට උත්තේජනයක් හා අභියෝගයක් වන්නේය.

මට පෙනෙනවා ඔබ මොනවා හරි අඳිනවා ෆුකුඕකා සං, මොකද්ද ඒ පින්තූරය?

ඒක කන්දක දර්ශනයක්, කවියකුත් කියනවා ඒ එක්ක.

“කඳු ගැඹරේ මෘදු ආත්මයක් මෙසේ අසයි:
කා සඳහාද කැලෑමල් පිපෙන්නේ ?
පයින් ගස් පීරා එන සුළග හඳුනන,
හිවලුන්ට හා රැකූන පක්ෂින්ටයි”


ඒ කවියේ අදහස පැහැදිලි කරන්න හැකිද?

මේ “මෘදු ආත්මය” කියන එක පැහැදිලි කරන්න ක්‍රම කීපයක්ම තියෙනවා. ඒක පුද්ගලයෙක් (මිනිහෙක්) වෙන්න පුළුවනි, මලක්, ගහක්, එහෙම නැත්නම් තණකොළ වුණත් වෙන්න පුළුවනි. මෙච්චර කාලයක් තනියම, කඳු ගැඹුරේ ජීවත් වුණේ ඇයි කියලා ඒ මෘදු ආත්මයෙන් ඇහුවොත් එයා කියාවි “මං මෙහෙ ජීවත් වෙන්නේ වෙන කවුරුත් නිසා නොවෙයි. මං මෙහෙ ජීවත් වෙන්නේ හිවලාගෙත්, රැකූන්ගෙත් සද්දේ අහන්නයි, ඒ අය එක්ක කතා කරන්නයි, ඒ අය එක්ක ඉන්නයි ඕනෑ නිසා කියලා.

ඔය චිත්‍රයේ ඉන්න රූපය ඔබද?

’‘මම කැමතියි මං වගේ වෙනවා නං”

ඔබේ චිත්‍රවලිනුත්, ගොවිනැත ගැන ඔබේ ප්‍රවේශයත් දිහා බලනකොට පැහැදිලි වෙන්නේ ඔබත් සොබාදහමත් අතර සමීප සම්බන්ධයක් තිබෙන බවයි. ඔබ හැදුණේ වැඩුණේ ගැමි පරිසරයකද?

ඔව්. මං ගමේ ගෙදරක හැදුණු ගමේ කොල්ලෙක්. අපේ ගමේ ප්‍රධානියා හැටියට හිටපු මගේ පියා ඉඩම් හිමි ගොවියෙක්. මං හැදුණේ වැඩුනෙ ත් අනික් ගමේ ළමයි වගේම තමයි... ඉස්කෝලේ යන එකයි, කුඹුරුවල වැඩට දෙමව්පියන්ටයි අනිත් අයටයි උදව් කරන එකයි.

ඔබ පාසැල් ගමනෙන් පස්සේ කෙලින්ම ගොවිතැනට බැස්සද?

නැහැ. මං ඉස්සෙල්ලා ගියා විශේෂ තාක්ෂණික ආයතනයකට සූක්ෂම ජීව විද්‍යාවත්, පැලෑටි ව්‍යාධි විද්‍යාවත් ඉගෙන ගන්න. ඊට පස්සෙ යොකොහමා වලට ගියා කෘෂිකාර්මික රේගු ඔපීසියට රෝග නිවාරණ නිලධාරියෙක් හැටියට. මගේ රැකියාව හැටියට මං කළේ ජපන් මැන්ඩරින් දොඩම් ගැනත් ඇමරිකන් දොඩම් ගැනත් පරීක්ෂණ පැවැත්වීමයි. එහෙදී මට ඉගෙන ගන්න ලැබුණා හුගක් දේවල් පැළෑටිවල දුර්වලකමුත්, අසනීපත් ගැන. මගේ රසායනාගාර වැඩවලදිත් මට ලොකු සතුටක් ලැබුණා. කොහොමහරි, මට වයස අවුරුදු විසි පහේදි මගේ හදවතෙත් මනසෙත් වෙනස් විමක් සිදුවෙලා ඉන්පස්සේ මගේ ජිවිතය සම්පූර්ණයෙන්ම අමුතු පැත්තකට හැරුණා.

ඒ ගැන තවදුරටත් විස්තර කළොත්?

හුඟක් තරුණ අයට වගේ, මගේ ජීවිතය ගැන බොහොම බර විශාල අදහස් තිබුණා. ඒ සිතිවිලි නිසාම මිනිසාගේ තත්වය ගැන හුගක් ප්‍රශ්න-සැක මතුවුණා. ඒ සේරටම හරියන්න, ඒ කාලෙදී මං බරපතල විදියට අසනීපත් වුණා, ජීවිතේ ඇදගෙන යන්න බැරි වෙයිද කියලා හිතෙන තරමට.

අසනීපෙ හොඳ වුණාට පස්සෙ, මං වීදිවල ඇවිදිමින් රාත්‍රී නිදි නැතිව ගත කලා. ඒ වගේ නිදි නැති උදේක ඒ වෙනකොට හැම දෙයක්ම මගේ මොළේ ඇතුළේ පුපුරන්න ලංවෙලා වගෙයි තිබුණේ.- එක පාරටම අමුතු අන්තර්ඥානයක් පහළ වුණා-දර්ශනය වුණා. එක පාරටම මට දැනුණා මේ මුළු මිනිස් පැවැත්මම කිසිම තේරුමක්-වටිනාකමක් නැති දෙයක්ය කියලා. සැබෑ වටිනාකමක් තියෙන කිසිම දෙයක් මිනිස්සු දන්නේ නැහැ-කියලා මං තීරණය කළා. අපගේ හැම කාර්යයක්ම නිසරු, හිස් උත්සාහයක් විතරයි. ඒ වගේම මට පෙණුනා ස්වභාව ධර්මය කියන එක උපරිම- පරමාදර්ශී තත්වයෙන් සකස් වෙලා තියෙන එකක්-යකියන ඒ තුළ ඒ තියන තත්වයෙන්ම හැම දෙයක්ම සම්පූර්ණ බවත්. ඒ නිසා මට නිසැකවම ප්‍රත්‍යක්‍ෂ වුණා. අප වැඩ කල යුත්තේ ස්වභාව ධර්මයට එකඟව ඒත් එක්ක එකතු වෙලාය කියන එක- අප කළ යුත්තේ ස්වභාව ධර්මය ආක්‍රමණය කරලා ඒක “වැඩි දියුණු” කරන්න යන එක නෙමෙයි කියන එක.

මං දන්නවා මේක විකාර අදහසක් වගේ පෙනෙන්නට ඉඩ ඇති වග. ඒත් මගේ හිතේ තියෙන දේ වචන වලින් එලියට දාන හැම වතාවකදීම ඔය විදියේ වචන තමයි පිට වෙන්නේ. ඒ අනාවරණය ලේසියෙන් කෙනෙකුට පැහැදිලි කරලා කියන්න පුළුවන් එකක් නෙමෙයි.
ඒ ඇයි?

මගේ අත්දැකීමට සමාන අත්දැකීමක් ලබාපු කෙනෙකුට නං ඒක ඉවෙන් වගේ තේරෙනවා... ඒත් ඒ දැනගැනීම නැති, ඒ ගැන සොයා බලන්නෙත් නැති අයට කියන්න මට කිසිම දෙයක් නැහැ. උදාහරණයක් හැටියට හොල්මනක් කියලා දෙයක් තියෙනවායි කියලා ඔබ හිතනවද? හොල්මනක් කවදාහරි දැකලා තියෙනවද? (සිනා සෙමින් සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්නාගේ උරහිසට උඩින් බලමින්) අර අරෙයාව දැක්කෙ නැද්ද? හොල්මනක් කවදාවත් දැකලා නැති අයට සාමාන්‍යයෙන් ඒ අය ගැන විශ්වාස කරන්න බැහැ. ඒ වගේ අත්දැකිමක් ලැබිලා තියෙන අය නම් ඒක සම්පූර්ණයෙන් විශ්වාස කරනවා.... ඒ අයට ඒක ඒත්තු ගන්වන්න ඕනෑ නැහැ.

මේ සිතිමේ වෙනස, කොහොමද ඔබේ ජිවිතයට බලපෑවෙ කියලා කීවොත්?

මම වහාම රේගු කාර්යාලේ රැකියාව අතහැරියා. ඊළඟ අවුරුද්ද හෝ දෙක තුළ මං කළේ රට පුරා ඇවිදිමින් මිනිස්සුත් එක්ක කතා කරමින් අලුත් අත්දැකීම් ලබා ගන්න එක. වෙලාවකට කඳුවල, වෙලාවකට උණු දිය උල්පත් ළඟ මං කූඩාරම් ගහගත්තා. නගරයේ ඉන්න හැම වෙලාවේ ම මම නිදා ගත්තේ පන්සල්වල හරි, උද්‍යානවල හරි- ගමේ ඉන්නකොට හිටියේ ගොවි ගෙවල්වල,  කුඹුරුවල ඒ අයත් එක්ක වැඩ කර කර. මගේ ගමන ඇත්තටම ආරම්භ කළේ මගේ ප්‍රත්‍යක්‍ෂය රට පුරා ප්‍රචාරය කරලා ඇරීමේ අරමුණු ඇතුවයි. ඒත් ජීවිතයේ අර්ථ විරහිතභාවය ගැන මා කතා කළ හැම වෙලාවකම, මම කියන දේ අහන්න, තේරුම් ගන්න කිසි කෙනෙකුට උනන්දුවක් තිබුණෙ නැහැ! ඒ අය මාව ගණන් ගත්තේ විකාරරූපී-අසම්මත කෙනෙකු හැටියටයි. ඒ නිසා මං අවසානෙ දී තීරණය කළා, මිනිස්සුන්ට මාගේ න්‍යායයන් තේරුම් ගන්න උදව් කරන්න නම්, ඒවා කිසියම් ප්‍රායෝගික- නිශ්චිත විදියකට ඒ අය ඉදිරියේ නිරූපණය කරලා පෙන්නන්න. මං හරියි කියලා මට ම ඒත්තු ගන්නත් ඒක උදව් වුණා.

සියලුම රැකියාවලින් උසස්ම රැකියාව ගොවිතැන කියලා මා විශ්වාස කරන නිසා, මං තීරණය කළා, මගේ ගමට ගිහිල්ලා ගොවියෙක් වෙන්න. මට බලන්න ඕනෑ වුණා මිනිස් දැනීම අර්ථවිරහිතය කියන න්‍යාය ගොවිතැනට සම්බන්ධ කරලා. එහෙම වුණොත් ඒ අය කුඹුරට එක්කරගෙන ගිහිල්ලා, මාගේ ඒ අදහස්වල හැබෑ බව ඒ අයට පෙන්නන්න පුළුවන් වෙන නිසා.

ඉතිං ඒ කාගෙ ඉදලාම ඔබ කළේ ගොවිතැන් කරන එකමයි?

ඔව්, හුගක්  දුරටම. දෙවැනි ලෝක යුද්ධ කාලෙදී මාව කෝචි කියන තැන කෘෂිකාර්මික පර්යේෂණ ස්ථානයේ වැඩට යැවුවා. එහෙදි මාගේ විද්‍යාත්මක පුහුණුවට මට නැවත වැටෙන්න හැකි වුණා. යුද්දෙන් පස්සෙ, මම සතුටින් ආයෙමත් කඳුකරේට ආවා ගොවියෙක් හැටියට ජීවිතේ ගත කරන්න.

ඔබ පටන් ගත්තේ කොච්චර විතර ඉඩම් ප්‍රමාණයකින්ද?

යුද්දෙන් පස්සෙ, ජපානයේ ලොකු ඉඩම් ප්‍රතිසංස්කරණයක් තිබුණා-ඒක හැඳින්වුණේ කොචිනො- කයිහෝ කියලයි. ඒකෙදි මගේ පියා වගේ ලොකු ඉඩම් හිමියන්ට හුඟක් ඉඩම් වල හිමිකම් නැති වුණා. ඒ කාලෙ ඉවර වෙනකොට මගේ පියාත් මියැදුණා. මට කියලා ඉතුරු වුණේ අක්කර කාලක පමණ පොඩි කෑල්ලක් විතරයි.

එතෙන්දි කෙලින්ම සොබාදහම් ගොවිතැන පටන් ගත්තාද?

යුද්දෙට ඉස්සෙල්ලා හිටන්ම මම මගේ තාත්තාගේ මැන්ඩරීන් දොඩම් වතුවල පර්යේෂණ කීපයක් කලා. ඒත් එක නිකං “කම්මැලි” ගොවිතැනක්-සොබාදහම වැඩ කරන්න පටන් ගන්න නං, කිසිම බලපෑමක් කරන්නෙ නැතුව ගස්වලට වැවෙන්න අරින්න ඕනෑ. ඒ නිසා මං බේත් ඉස්සෙත් නැහැ, කප්පාදු කළෙත් නැහැ, පෝර දැම්මෙත් නැහැ. මං කිසි දෙයක් කළේ නැහැ. ඒත් කොහොමටත් උද්‍යානයෙන් වැඩි කොටසක් විනාශ වුණේ කෘමි සත්තුයි අසනීපයි නිසා.

ගැටලුව වුණේ, මං පුහුණු කළේ ස්වාභාවික ගොවිතැන නොවීමයි. මං කළේ “කම්මැලි” ගොවිතැනක්. හැම දෙයක්ම සොබාදහමට අතහැරලා හිටියාම ඔක්කොම හරියයි කියලයි හිතුවේ. ඒත් මං හිතුවා වැරදියි. ඒ ගස් පැළ කාලෙදි හිටවලා, කප්පාදු කරලා සාත්තු කරලා තිබුණේ මිනිස්සු අතින්මයි. ඒ ගස් මිනිස්සුන්ගේ වහලුන් බවට පත් කරලයි තිබුණේ. ඒ නිසා මිනිස්සුන්ගේ කෘතිම උදව්ව හදිසියේම නැති වුණාම ඒවට ජීවත් වෙන්න බැරි වුණා.

එහෙමනං සාර්ථක සොබාදහම් ගොවිතැන කියලා කියන්නෙ “නිකම්ම මොකුත් නොකර ඉන්න” ක්‍රමයක් නෙමේ ?

නෑ ඒකෙදි ඔබට පරිසරයේ ස්වාභාවික ක්‍රියාකාරීත්වය ගැන හොඳ සම්ප සෝදිසියකින් ඉන්න වෙනවා. ඒත් අපි පරිස්සම් වෙන්න ඕනෑ: මේ ක්‍රමයෙන් කෙරෙන්නෙ අප ළඟ දැනට ගොවිතැන ගැන තියෙන විද්‍යාත්මක දැනුම සම්පූර්ණයෙන්ම ඉවත දැමිය යුතුය කියන එක නෙමෙයි. ඒකෙ ක්‍රියාකාරීත්වය තමයි මුළුමනින්ම අතහැර දැමීම, ඒකෙදි කෙරෙන්නේ මිනිස්සු වෙනත් පරිසරවේදයකට යටත්වී සිටිමෙන් ඉවත්ව සිටිමයි. ගොවියා තමාගේ “හීලෑ කරපු” කුඹුරු සම්පූර්ණයෙන්ම සොබාදහමට ඕනෑ හැටියට ක්‍රියා කරන්නට අතහැරියොත් වැරදිත් විනාශයත් වලක්වන්න බැහැ.

සොබාදහම් ගොවිතැන සැබෑ මාර්ගය තමයි, වෙනස්කම් නොකළ සොබාදහම කියන්නෙ මොකද්ද කියලා දැන ගන්න එක. එහෙම දැන ගත්තාම- එයාවට ඉවෙන් වගේ තේරෙනවා මොකද්ද කරන්න ඕනෑ කියන එක- නොකළ යුත්තේ කුමක්ද කියලත් තේරෙනවා- ඒ ක්‍රියාවලීන්ට එකඟව වැඩ කරන්නෙ කොහොමද කියන එකත් තේරෙනවා.

ඒ ආකල්පයෙන්, වර්තමාන ගොවිතැන් ක්‍රමයෙන් කෙරෙන “ඇඟිලි ගැසීම” පාලනය කියන දෙකම ප්‍රතික්ෂේප වෙනවා. ඔබේ සාම්ප්‍රදායික පුහුණුවෙන් මේ අසාමාන්‍ය සම්ප්‍රදායට මාරු වුණේ කොහොමද කියලා ටිකක් පැහැදිලි කළොත් :

මගේ තරුණ කාලේ මං දැකලා තියෙනවා ගමේ ගොවියෝ හැම දෙනාම මඬේ ගොයම් පැළ හිටුවන හැටිි... මං තේරුම් ගත්තා ගොයම් පැළවලට ස්වාභාවිකව වැඩෙන්න ඉඩ දීමක් ඒ ක්‍රමයෙන් වෙන්නෙ නැහැ කියලා. ඒ හින්දා මම සාම්ප්‍රදායික ගොවි උපක්‍රම පිළිබඳ දැනීම අතහැරලා වී වැවෙන ස්වාභාවික චක්‍රය දිහා බලාගෙන හිටියා. කැළෑවට වැවෙනකොට ගොයම් ගහ මෝරන්නෙ උෂ්ණ කාලෙ වෙනකොට. සරත් කාලෙ වෙනකොට කොළ ඉදිලා ගහ බිමට පාත් වෙනවා වී ඇට බිමට හලන්න. වසන්ත කාලෙ හිම දියවෙනකොට වී ඇට පැලවෙලා, චක්‍රය නැවත පටන් ගන්නවා. හෑවෙ නැති පසට වී ඇට වැටිලා පැලවෙලා ඉබේම වැඩෙනවා.
මේ ස්වාභාවික ක්‍රියාවලිය නරඹනකොට මට තේරුණා, මඩ කුඹුරුවල ගොයම් පැල හිටුවීමේ ක්‍රමය සම්පූර්ණයෙන්ම අස්වාභාවික බව. ඒ වගේම මට හිතුණා කුඹුරකට කොම්පෝස්ට් පෝර දාලා, හාලා වල් ගලවලා සුද්ද කරන එකත් අනවශ්‍යයිය කියලා. ඊට පස්සෙ මම පර්යේෂණ කලේ ඒ දේවල් කිසිවක්ම නොකර සිටීඉමටයි. මගේ මේ අවුරුදු 30ක පුහුණුව මට ඉගැන්නුවේ, හුඟක් ගොවියන්ට කිසිම දෙයක් නොකර වඩා හොඳ අස්වැන්නක් ගත හැකිය කියන එකයි.

මිනිස්සු හුඟක් වෙලාවට ඒ අයගේ මාන්නයත්, නොදැනීමත් නිසා හිතන්නෙ, සොබාදහමට ක්‍රියාත්මක වෙන්න ඒ අයගේ උදව් අවශ්‍යය කියලයි. ඒත් ඇත්ත කතාව තමයි සොබාදහමට, ඒ අය උදවි කරනවාට වඩා හොඳින් ක්‍රියාත්මක විය හැකිය කියන එක, කුඹුරක් නිරෝගීව තමාම ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම, ස්වාභාවික- එහෙම නැත්නම්, “ඇඟිලි නොගසන” (බාධා නොකරන) කෘෂිකර්මය හැබෑවක් වෙනවා. ඒ කොහොම වුණත්, මගේ දොඩම් වගාවෙන් පෙන්නුවා වගේ, ඒ වගේ තත්වයක් ක්ෂණිකව ඇති කරන්න අමාරුයි. ජපානයේත් අනෙක් කෘෂිකාර්මික රටවලත් භූමිය මැෂින් වලින් හාලා තියෙනවා දශක ගණනාවක් තිස්සේ... ඊට ඉස්සර ඒ වැඬේ කළේ ගවයන්ගෙන් අශ්වයන්ගෙ මාර්ගයෙන්. ඒ වගේ කුඹුරුවල වගාව එකපාරටම නවත්තලා කිසිදෙයක් නොකිරීමේ ආකල්පය අනුව ක්‍රියා කළොත්, මුල් අස්ථාවේ හොඳ ප්‍රතිඵල ගන්න ලැබෙන්නෙ නැහැ. මුලින්ම පසට ස්වාභාවිකව (මිනිසුන්ගේ ඇඟිලි ගැසීමක් නැතිව) සකස් වීමට ඉඩ හරින්න ඕනෑ. පසට එකතුවෙන කුණු රොඩු , පිදුරු වගේ දේවලින් භූමිය සරු බවට පත් කරන්න පුළුවනි.

ඔබේ One straw Revolution (පිදුරු ගහේ විප්ලවය) කියන පොත කියවලා නැති අය වෙනුවෙන්, ඔබේ ස්වාභාවික වගා ක්‍රමයේදී ඔබ අනුගමනය කරන ක්‍රියා මාර්ගය ගැන පැහැදිලි කළොත්...

මුලින්ම, මං ක්‍රියා කරන්නේ මූලධර්ම හතරක් යටතේ. පළමුවැන්න තමයි සී සෑමක් නොකිරීම. ඒ කියන්නේ කොටලා පොළව පෙරළීමක්, බුරුල් කිරීමක්, සෑමක් නැති බවයි. ඒ වෙනුවට මා කළේ, ගස්වල මුල් දිවීමත් කුඩා කෘමි සතුන්ගේ, පණුවන්ගේ පොළොව හෑරීමත් ඒ සඳහා යොදාගෙන පොළොවට ඉබේම සකස් වන්නට ඉඩ හැරීමයි.

දෙවැනි මූලධර්මය තමයි කිසිම කෘෂි රසායනිකයක් හරි, කාබනික පොහොරක් හරි නොයෙදීමයි. ඒ වගේ දේවල් නොසැලකිල්ලෙන් යෙදීමෙන් වෙන්නේ, පොළවේ සරුබව සිඳී යාමයි. එමෙන නැතිව ඒකටම ඉඩ ඇරලා තිබ්බාම ඒකට සම්බන්ධ පැළෑටිවලයි සතුන්ගෙ ජීවිතයටයි අනුකූලව ඉබේම පොළවේ සරුබව වැඩෙනවා.

තුන්වැනි කරණය තමයි තණකොළ ගලවා සුද්ද නොකිරීම. (ඒ කියන්නේ උපකරණ වලින්, අතින් හෝ බේත් ගැසීමෙන් සුද්ද නොකිරීමයි ) පසේ සරු බව රැක ගැනිමටත්, පැළෑටි අතර ජීවත් වන කුඩා කෘමි සතුන්ගේ ජිවිතය සමතුලිත කිරීමටත් වල් පැළෑටි උදව් වෙනවා. ඒ නිසා මං කරන්නේ වල් පැළෑටි විනාශ කරන්නේ නැතිව ඒවා පාලනය කිරීමයි. පිදුරු රොඩු, කරඳමුංගු වගේ සමගාමී වගාවල්, ඒවාගේම සමහර වෙලාවට ඇතිවන ගංවතුර වගේ දේවල් වලින් වල් පැළෑටි පාලනය වීමක් සිදු වෙනවා.

හතරවැනි මූලධර්මය තමයි කෘමිනාශක නොයෙදීම. ඒකටම ඉඩ ඇරලා හිටියාම සොබාදහමේ පුදුම සමතුලිත බවක් ඇති වෙනවා. (ඒත්) විනාශකාරී කෘමියොත්, අසනීපත් නැති වෙන්නේ නැහැ. ඒත් රසායනික වස ගහලා විනාශ කරන්න තරම් බරපතල විදියට එන්නෙ නැහැ. ඒකට කළ යුතු බුද්ධිමත්ම වැඬේ හැටියට මං හිතන්නේ සෞඛ්‍ය සම්පන්න පරිසරයක ශක්තිමත් වගාවක් කිරීමයි.

මගේ ක්‍රමය අනුව මං කරන්නේ ගොයම් ගස් වැවී තිබෙන අතරම ඒ මත සරත් (සැප්තැම්බර්- නොවැම්බර්) කාලය තුළදී වෙන වෙන ලියදිවල රයි, බාර්ලි බීජ ඇට ඉසින එකයි. සති කීපයකට පස්සේ වී අස්වැන්න නෙලා ගන්නවා. රයි, බාර්ලි වල අස්වැන්න නෙලා ගන්නේ මැයි මාසේ 20 විතර වෙනකොටයි. ඒත් ඒවා සම්පූර්ණයෙන් පැහෙන්න ඉස්සෙල්ලා (ඒවා කපා ගැනීමට සති දෙකකට විතර කලින් ) ඒවා උඩ බිත්තර වී ඉසිනවා. රයි, බාර්ලි කපලා අස්වැන්න ගත්තාම ඒවායේ පිදුරු අර බිත්තර වී වලට උඩින් හැම තැනම විසුරුවා හරිනවා. ඒකෙන් ඒ වී ඇට ආරක්ෂා වෙනවා. ඇඹිලිය (උඳුපියලි වර්ගයක්), තණකොළ වගේ දේවලුත් ඒ කුඹුරුවල වැවෙන්න අරිනවා. ඒ ගැන හිතන්න දේකුත් නැහැ. නිකම්ම හැමතැනම ඉක්මනින් පැතිරිලා යනවා!

මගේ වගේ අක්කර කාලක් විතර කුඹුරකට, වතුර හරවන්නෙත් නැතුව, කාබනික හරි වෙනත් පොහොර වර්ග හරි රසායන බෙහෙත් වර්ග හරි දාන්නේත් නැතුව, අඟලක්වත් කුඹුරේ පස පෙරළන්නෙත් නැතුව වගා කිරීමේ කටයුතු දෙන්නෙක් විතර හිටියාම සුමාන දෙකකින් විතර ඉවර කරගන්න පුළුවනි.

වී වගා කරන්න ඊට වඩා හොඳ සරළ ක්‍රමයක් තියෙනවද කියලා මට හිතා ගන්නවත් බැහැ. පැඟිරි වර්ගයට අයත් ගස් මම හිටවන්නේ ගෙදර ලඟ බෑවුමේ. මුලදී කුඩා බිම් කොටසක් තමයි තිබුණේ. පස්සේ පාලුවට ගිය ඉඩම් කොටස් අරගෙන ඒ ප්‍රමාණය ලොකු කර ගත්තා. මුලින්ම රතු පස සකස් වෙන්න මම කළේ ඇඹිලිය (උඳුපියලිය) වගේ දෙයක් වගා කරලා තණකොළත් වැවෙන්න අරින එකයි. ඒකට මම එකතු කරපු දෙයක් තමයි (ජපන් රාබු වගේ) ශක්තිමත් ගහක් තිබෙන එළවළු වර්ගයක් ඉන්දවන එක. එතකොට කුරුල්ලෝ වගේ අයට ඒ ගස් උඩ වහලා කෘමි සතුන් අල්ලා ගන්න ලේසි වෙන නිසා. ඒ නිසා ඝන තණකොල, ඇඹිලිය වැස්ම නිසා ඒ වත්තේ මතුපිට මට්ටමේ පස පසුගිය අවුරුදු 30 ඇතුළත කළුපාට වෙලා, බිම් පණුවන් බහුල සාරවත් එකක් වුණා. මගේ වත්තේ පැඟිරි ගස් අතර තැනින් තැන සෙඩාර්, පයින්, පෙයාර්ස්, පර්සිමන්, ලොකැටි, ජපන් චෙරි වගේ තවත් ගස්වර්ග වැව්වා. ඒ වගේම පස ගැඹුරට සරු කරන නයිට්‍රජන් බහුල ඇකේෂියා (වැටහිර) ගසුත් වැවුවා. එහෙම බිම් මට්ටමේත්, මැද මට්ටමේත්, ඉහල මට්ටමේත් පැලෑටි ගස්වර්ග වැවෙන්න ඇරියාම වත්ත බලා ගැනීමට ඒ වත්තටම කරන්න පුළුවන් වෙනවා.

වත්තේ කුස්සිය ළඟ කොටසේ එළවළු එහෙම වගා කරන්නේ නැද්ද?
නිකං කැලෑවට වගේ එහෙම ඒවත් මම වවනවා- කඳු ගැටය පුරාම වල් පැළෑටි අතරේ. මගේ වත්තෙම මම වවනවා බර්ඩොක්, ගෝවා, තක්කාලි, කැරට්, අබ, බෝංචි, ටර්නිස් වගේ තව එළවළු, බෙහෙත් ජාති හේමත්. ඒකේ අදහස තමයි මුඩු බිම්වල ස්වාභාවිකව ඒ වගේ ජාති හැකි තරම් වැවෙන්නට ඇරීම. එහෙම නැතුව නවීන ක්‍රමවලට වැඩි අස්වැන්න ඇතිවන ආකාරයේ උපක්‍රම යොදන්න ගියොත් බොහෝවිට අසනිප, බෝවෙන රෝග ආදිය නිසා අසාර්ථක වෙන්න පුළුවනි. ඒත් ස්වාභාවිකව පැළෑටි වැඩිලා තියෙන භූමියක ඒ අතරට මිශ්‍ර ආකාරයට එළවළු වගේ දේවල් වැවුවොත් රෝගත් අඩු වෙනවා. බේත් ගහන්න වෙන්නෙත් නැහැ. හානිකර කෘමීන් ඉවත් කරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ.

එළවඵ වගාවේදි මං කරන්නේ වල්පැලෑටි ටිකක් මට්ටම් වෙන්න උඩින් ගසලා සකස් කරලා බීජ ඇට ඉසින එකයි. ඒ බීජ පස්වලින් වහන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. අර කපලා ඉවත් කරපු තණකොළ කොටස් ඒ උඩින් දාන එක විතරයි කරන්නේ. තණකොල සැරේට වැවෙනවානං තවත් සැරයක් දෙකක් උඩින් මට්ටමට කපලා දානවා. බීජ පැලවලට උඩට මතු වෙන්න ලේසි කරන්න. එහෙම වැවෙන එළවළු පැලෑටිත් හුඟක් ශක්තිමත්. ඒ වගේ ස්වාභාවිකව තණ කොල ආදිය වැවිලා තියෙන ඕනෑම තැනක එළවළු වගා කරන්න පුළුවනි. ඒත් ඒක සාර්ථක වෙන්න නම් ඒවා අවුරුදු පතා වැඩෙන කාල සිමාවන් දැනගෙන ඒවාට ගැළපෙන එළවළු පැළ කරන්න ඕනෑ.

මේ සොබාදහමේ ගොවිතැනේදී ඔබට කෘමි සතුන්ගෙන් හරි රෝග වලින් හරි බරපතල ප්‍රශ්න ඇතිවෙලා තියෙනවද?

එහෙම බරපතල ප්‍රශ්න ඇතිවු වගක් නම් මට මතක නැහැ. එහෙම වුණාවගේ පෙණුනු අවස්ථාවලදිත් සොබාදහම උදව්වුණා ඒවා අවම කර ගන්න. මට වැරදීමුත් වෙලා තියෙනවා... අනික් අය හුඟක් දෙනෙකුට වගේ. ඒත් මං ඒවා වැරදි හැටියට ගන්නෙ නැහැ. මුල් කාලයේදි ඉඩමෙන් 70% වක්ම කැලේ වැවිලා ඉතුරු 30% හොඳ වගාවක් තියෙන කොට මං ඒක ගත්තේ ඉතා සාර්ථක ගොවිතැනක් හැටියටයි. (අන්තිමේදී ඉඩමේ ඉතිරි හරියත් සාර්ථකව වගා කරන්න හැකි වුණා) අසල්වැසියෝ ඒක සැලකුවේ වැරැද්දක් හැටියට වුණත් මං නං ඒක ගත්තේ පාඩමක් හැටියටයි. මුල් කාලෙම මං සොයාගත්තු දෙයක් තමයි සොබාදහම් ගොවිතැන සාර්ථක වෙන්නේ බලාපොරොත්තු වලින් අයින් වෙලා හිටියාම බවයි. එහෙම හිතින් හිතාගෙන ඉන්න ඒවා බොහෝ විට නිවැරදිත් නැහැ. යථාර්ථවාදීත් නැහැ. එතකොට අපේක්ෂා ඉටු වුණේ නැතුවාමත් ඔබ හිතන්නේ වැරැද්දක් සිදුවුණාය කියලයි.

මානා වගේ පඳුරු වර්ගත් තෘණ පැලෑටිත් යහමින් කුඹුරේ වැඩුණොත්, ඒක ඔබට පාලනය කරන්න බැරි තරමේ අභියෝගයක් වෙන අවස්ථා නැද්ද?

බේත් ගැහීමත් යාන්ත්‍රික උපක්‍රමත් යොදා ගැනිම වෙනුවට මං කළේ මෑ, බෝංචි පවුලට අයත් වගාවන් ඒ  පඳුරු තට්ටුව වැහෙන්න ඒ අතරට වැවෙන්නට සලස්සන එකයි. එතකොට ඒ අනවශ්‍ය පැලෑටි වැවීම සිමා වෙනවා. ඒ ඇරෙන්න පිදුරු වගෙ දේවලුත් ඒ වල් උඩට දානවා. එහෙම කළාම ඊළඟට එන බීජ ඇට පැලවෙන්න අවශ්‍ය තෙතමනයත් රැඳිලා තියෙනවානෙ පොළොවේ.


ඒකනං වියදම් අඩු හොඳම ගොවිතැන් ක්‍රමයක් වගෙයි පෙනෙන්නේ. එතකොට ඒවායෙන් ලැබෙන අස්වැන්න කොහොමද? සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රමවලින් ලැබෙන අස්වැන්නට සමානද?

මුලදි නං බලාපොරොත්තු වුණ තරම් අස්වැන්නක් ලැබුණෙ නැහැ. නමුත් කලක් තිස්සේ පස ස්ථාවර වෙලා ස්වාභාවික තත්වයට පත්වුණාට පස්සේ නිශ්පාදනය වේගයෙන් වැඩි වෙන්න පටන් ගත්තා. ක්ෂණික වෙනස්වීම් නං සිදුවුණේ නැහැ. ඒත් කාලයක් එක්ක මට තේරුම් ගියා කුඹුරු හාන්නේ, පස් පෙරළන්නේ නැතුව ඒවාට වතුර හරවන්නෙත් නැතුව අනික් ගොවියන් යන්ත්‍ර සූත්‍ර යොදලා නවීන ක්‍රමවලට ගොවිතැන් කිරීමෙන් ලබන අස්වැන්නට සමාන හෝ ඊට වැඩි අස්වැන්නක් මගේ සොබාදහම් ගොවිතැනිනුත් ලබා ගන්න හැකි බව. දැන් මං නිශ්පාදනය කරන ප්‍රමාණය අක්කර කාලකට බුසල් 22 ක් නැත්නම් රාත්තල් 1300 ක් විතර වෙනවා- හැම ධාන්‍ය වර්ගයකින්ම. ඒක ජපානයේ ඉහලම අස්වැන්නට කිට්ටු එකක්.

ඒ ලාබදායක නිශ්පාදන ඉලක්කය නිසා සොබාදහම් ගොවිතැනින් ඔබේත් ඔබේ පවුලේ අයගෙත් නඩත්තුව පහසුවෙන් කරගන්න හැකි වෙනවා ඇති.

මං හුඟක් සල්ලි හම්බ කලේ නං නැහැ. මගේ එදිනෙදා වියදම් වුණත් හුඟක් අඩු නිසා ආර්ථික තත්වය කොයි වෙලාවකවත් දරුණු අතට හැරුණේ නැහැ. මම මේ සොබාදහමේ ගොවිතැන කරන්න පටන් ගත්තාට පස්සේ ප්‍රචාරයක් ගියා මගේ වත්තේ දොඩම් ගමේ අනෙක් තැන්වල ඒවාට වඩා රසවත්, ඒවාගෙම ප්‍රමාණයෙන් ලොකුයි කියලා. දොඩං වලින් තමයි මගේ ආදායමෙන් වැඩි කොටසක් ලැබුණේ. තව වැඩියෙන් ඉඩම් කොටස් එකතු වෙනකොට පසත් සරු වුණායින් පස්සේ අපට කරදරයක් නැතුව ඉන්න පුළුවන් ආදායමක් ලැබුණා.

රටේ මහා පරිමාණ ගොවි “සංවිධාන” ඔබේ අදහස් ගැන සැලකිල්ලක් දැක්වුවාද?

දැනට අවුරුදු 25 කට ඉස්සර ගොවි සඟරාවල මම පළ කලා “වගා නොකොට ඍජුව බිත්තර වී ආදී බීජ රෝපණය කරන ක්‍රමය” නමින් ලිපියක්. ඊට පස්සෙත් කීප වතාවක්ම ඒක පළ වුණා. ගුවන්විදුලි, රූපවාහිනි වැඩසටහන් කීපයකුත් කලා, ඒත් කවුරුවත් ඊට වැඩි අවධානය යොමු කරපු බවක් නං පෙනුණේ නැහැ.

ඒත් පහුගිය අවුරුදු පහළොව ඇතුළත, සොබාදහම් ගොවිතැන ගැන මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙලා තියෙන බවක් පෙනෙනවා. ගොවි පර්යේෂක විද්‍යාඥයෝ කීප දෙනෙක්ම මගේ මේ පස් නොපෙරළන ක්‍රමය අගය කලා. ඒ එක්කම මාධ්‍යවේදියෝ, මහාචාර්යවරු, ගොවියෝ, පර්යේෂකයෝ, ශිෂ්‍යයෝ වගේ හැම තරාතිරමකම අය මගේ ගොවිපලට ඇවිත් බලලා, මගේ පැලේ නැවතිලා යන්න පටන් ගත්තා.

මගේ මේ ස්වාභාවික ජීවන ක්‍රමයේ ඵලදායක බව පෙන්නන්න පුළුවන් වීම නිසා මට හිතෙනවා මාත් මිනිස් වර්ගයාට කිසියම් සේවයක් කරනවය කියලා. ස්වාභාවික ගොවිතැනේ අවසාන පරමාර්ථය ඛෝග වගාව ගොවිතැන නෙමෙයි, මිනිස්සුන්ගේ හැදියාව වගා කරන එකයි.

ඔබේ ගොවිතැන් ක්‍රමය  ගැන එහෙම හදිසි උනන්දුවක් ඇති වුණේ මොකද?

මං හිතන්නේ මිනිස්සු දැන් හුඟක් දුරට සොබාදහමින් ඈත් වෙලා ඉන්න නිසයි. වර්තමාන ලෝකයේ සෑම දෙයක්ම කලබලකාරියි. අනවශ්‍ය පමණට සංකීර්ණයි. ඒ නිසා මිනිස්සුන්ට ඕනැ වෙලා තියෙන්නේ මේ මං සාමාන්‍ය ගොවියෙක් හැටියට ගත කරන ජීවිතේ වගේ සරල, නිහඬ  ජීවිතයකට ආපහු යන්න. මිනිස්සු සොබාදහමෙන් ඈත් වෙන ප්‍රමාණයටම, යථාර්ථයේ වෙනස් නොවන කේන්ද්‍රයෙන් ඉවතට තල්ලු වෙලා යනවා. ඒ අතරේම එහෙම ඉවතට යන අය තුළම නැවත සොබාදහමට කිට්ටු වන්න ඕනෑය කියන ඕනෑ කමකුත් තියනවා. ජීවිතයේ ඒ නොවනස්වන කේන්ද්‍රයෙන් තමයි, මං හිතන හැටියට, සොබාදහම් ගොවිතැන පැන නගින්නේ.

ඒ වගේම රසායනික ගොවිතැනේ තියන අනතුරුදායක තත්වය හඳුනා ගැනීමත් අලුත් විකල්ප ගොවිතැන් ක්‍රම හොයාගෙන යන්න හේතුවක් වෙලා තියනවා. මගේ ගොවිතැන් ක්‍රමට දිහා දැන් මිනිස්සු බලන්නේ ප්‍රාථමික, පසුගාමී ක්‍රමයක් හැටියට නෙමෙයි, නුතන විද්‍යාත්මක ක්‍රමයටත් වඩා ඉදිරියෙන් තියෙන එකක් හැටියටයි.

ඔබ අනුගමනය කරන්නේ අඩු වියදම් සහිත, අඩු ශ්‍රමයක් අවශ්‍ය වන, බරපතල යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය නොවන, පොහොර වර්ග, රසායනික වර්ග අවශ්‍ය නොවන ගොවිතැන් ක්‍රමයක්. ඒත් ඔබගේ අස්වැන්න අර නූතන “විද්‍යාත්මක” ක්‍රමවලට කරන ඒවා හා සමානවම තියෙනවා. ඒක නිකං හීනයක් හැබෑ වීමක් වගේ. ඒ පැත්තේ හැමතැනම වගේ සොබාදහම් ගොවිතැන කරන්න උත්සාහ කරන අය ඇතිනේ?

නෑ, ඇත්තටම එහෙම කියන්න බැහැ. මොකද මගේ ක්‍රමය ඒ අයට පේන්නෙ හීනයක් වගේ නිසා. හුඟක් අයට සොබාදහම් ගොවිතැන කියන එක බය හිතන සංකල්පයක්! ඒක අපේ සමාජයේත් ශිෂ්ටාචාරයේත් වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් කරන විද්යේ, විප්ලවීය ආකල්පයක් ඇති දෙයක්.

එහෙම නං ඔබේ ක්‍රමය ඒ අයට ඒත්තු ගන්වන්න මොකද්ද කළ යුත්තේ?

තනි ගොවියන්ටවත්, ගොවි පවුල්වලටවත්, තනියම මේ ක්‍රමය ආරම්භ කරන්න අපහසුයි. සොබාදහම් ගොවිතැනට මුල් අවස්ථාවේදී වැඩ රාශියක් කරන්න තියෙනවා.- භූමිය සමතුලිත තත්වයට එනතුරු- ඒ නිසා ඒකට යොදන්න ඇති තරම් වෙලාව නැත්නම් ඒක කරන්න බෑ. ගම් මට්ටමෙන් හරි, කුඩා නගර මට්ටමෙන් හරි මේ වෙනස ඇති කරන්න බැරි කමක් නැහැ. ඒත් මේ “පිදුරුගහේ විප්ලවය” ආරම්භ කරන්න හොඳම ක්‍රමය තමයි “මහා පරිමාණ” වශයෙන් කිරීම... සමුපකාර ක්‍රමයේ උත්සාහයකින් සමාජය යා යුත්තේ මේ පැත්තට තමයි කියලා රජයත්, ගොවි සමුපකාරයනුත්, ගොවියනුත්, පාර්භෝගිකයනුත්- කෙටියෙන් කියනවානං සෑම දෙනාම තීරණය කරන්න ඕනෑ. ඒ විදියේ සාමුහික ක්‍රමයක් අනුගමනය කළේ නැත්නං ඔය අපි හිතන විදියේ වැදගත් වෙනසක් ඇති කරන එක ඒ තරං ලේසි නැහැ.

ඉතාම වැදගත් දේ තමයි සොබාදහම ගැන මිනිස්සුන්ගේ සංකල්ප වෙනස් කිරීම. විශේෂයෙන් ඇමරිකාව ගත්තාම බාහිර පරිසරය කොහොමවත් ස්වාභාවික නැහැ. ඒක මිනිසා විසින් නිර්මාණය කරපු සොබාදහමේ පිටපතක් විතරයි. උදාහරණයක් විදියට බලන්නමේ විශ්ව විද්‍යාල පරිශ්‍රය අවට ප්‍රදේශය තැනින් තැන ගස් හිටවලා තියෙන ලස්සන තණ පිට්ටනි තියෙනවා. කොළ පිළිවෙලකට කපලා තියෙනකොට ලස්සනක්- හැඩයක් තියෙනවා තමයි. ඒ වුණාට ඒවා ස්වාභාවිකව මේ බිමේ වැවිච්ච තණකොළ නෙමෙයි. ඒවා මිනිස්සුන් විසින් වෙනත් මිනිස්සුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙහෙ ගෙනල්ලා හිටවාපුවා. ස්වාභාවික පැළෑටි ඔක්කොම මර්දනය කරලා විනාශ කරලයි තියෙන්නේ. මේවා දේශීය ඒවා නෙමෙයි, පිටින් ගෙනල්ලා හදා වඩාගත්තු ඒවා. ඒවායේ කෘතිම භූමි ප්‍රදේශ ස්වාභාවික තත්වයට ගෙන ඒම, මිනිස්සුන්ටත්, සත්තුන්ටත් ගස් කොළන්වලටත් හොඳ දෙයක් වෙන්න පුළුවනි. ඒ වුණත් හැම දෙනාම ඒක අගය කරන එකක් නැහැ... එතකොට මිනිස්සු වැඩිය කැමති නැති මැසි මදුරුවොත් වෙනත් කෘමි සත්තුත් වැඩි වෙනවා, සමහරු කියාවි “අපෝ මොන කරදරයක්ද මේක” කියලා.

සති කීපයකට ඉස්සෙල්ලා ඔබ සංචාරයක යෙදුණා කැලිෆෝනියාවේ. කොහොමද එහෙ තත්වය, එහෙ තියෙන්නෙත් කෘත්‍රිම සොබාදහමක්ද?

කැලිෆෝනියාවේ පිරිහිච්ච තත්වය දකිනකොට, ඇත්තටම මම තිගැස්සිලා ගියා. ස්පාඤ්ඤ වැසියන් ඇවිල්ලා ගවයින්ටත්, බැටළුවන්ටත් ෆොක්ස් ටේල්, කැලෑ ඕට්ස් වගේ පැලෑටි සහිත ස්වාභාවික තණබිම් හදුන්වලා දුන්නට පස්සේ, දැන් ඒ තිබිච්ච තෘණ වර්ග සම්පූර්ණයෙන්ම විනාශ කරලා- අතුගාලා දාලයි තියෙන්නේ. භූගත ජලය උඩට ඇදලා, ඇල මාර්ග හදලා, විශාල බැමි බැඳලා මහා පරිමාණ වාරි ව්‍යාපෘති ආරම්භ කිරීම නිසා, මතුපිට ජලය ස්වාභාවිකව සංසරණය කිරීමට විශාල බාධාවක් ඇති වෙලා තියෙනවා. වනාන්තරත් කිසිම සැලකිල්ලක් නැතිව ඉවත් කරලා තියෙන නිසා, පාංශු ඛාදනය වීමෙන් දිය පහරවල්- ඇලවල්වලටත්, මත්ස්‍ය ගහණයටත් ලොකු හානියක් වෙලා තියෙනවා. ඒවායේ ප්‍රතිඵලයක් හැටියට භුමිය දවසින් දවස වඩ වඩාත් ශූෂ්ක බවට පත් වෙනවා. ඒක හරිම භයානක තත්වයක්... මිනිස්සුන්ගේ ඇඟිලි ගැසීම නිසා ඒ ප්‍රදේශ කාන්තාරයක් බවට හැරෙමිනුයි තියෙන්නේ. ඒ වුණාට කිසි කෙනෙක් ඒක විශ්වාස කරන එකක් නං නැහැ!



මහා පරිමාණ වශයෙන් සොබාදහම් ගොවිතැන පතුරුවා හැරියොත් තත්වය යහපත් වෙලා “හරිත” බවට හැරේවි කියලද ඔබ හිතන්නේ?

ස්වාභාවික තණකොල වැවෙන රටාවේ මාරුව ඉගෙන ගන්න මිනිස්සුන්ට වසර කීපයක් ගතවේවි. ඒත් පස නම් ඉක්මනට සකස් වෙලා යාවි- මිනිස්සු උදව් කළොත්. එහෙම කළොත් නං කැලිෆෝනියාවත් සැබෑ ස්වාභාවික සිත් ඇද ගන්නා තැනක් වේවි. එතකොට ගොවිතැනත් ඉතා ප්‍රසන්න ක්‍රියාකාරීත්වයක් බවට පත් වේවි. ඒත් දැන් තියෙන ක්‍රමය දිගින් දිගටම ගියොත් නං ඇති වෙන්නේ විනාශයක්ම තමයි. ආහාර බෝග වගා තත්වය යහපත් මට්ටමින් දැන් තියෙනවා වාගේ පෙනුණට, ඒක පැට්‍රෝලියම් ඉන්ධන මත පදනම් වුණු මුලාවක් පමණයි. දැන් මහා පරිමාණ වශයෙන් කෙරෙන තිරිඟු, බඩ ඉරිඟු වගාවල් කිසිම එකක් සැබෑ සොබාදහම් ගොවිතැනින් කෙරෙන නිශ්පාදන නෙමේ. ඒවා “නිශ්පාදනය” කරපු ඒවා මිසක් වවාපු (වැවෙන්න ඇරපු )  ඒවා නෙමේ. ඒවා මහපොළව විසින් කෙරෙන නිශ්පාදන නෙමෙයි. පෙට්‍රෝලියම් වලින් කෙරෙන නිශ්පාදන!

ඔබ කිව්වා නේද භූගත ඉන්ධන සම්පත් ඒ කියන්නේ පැට්‍රෝල් වගේ ඒවා හිඳිලා යාම ශුභවාදී දෙයක්ය කියලා 

ඔව්. මේ තෙල් ලිං ඉක්මනටම හිඳිලා යන තරමට හොඳයි. එතකොට සොබාදහම් ගොවිතැන පැත්තට හැරෙනවා ඇරෙන්න මිනිස්සුන්ට වෙන විකල්පයක් නැති වේවි !

ඒත් නියම “කෘෂි- ආයෝජන” සහිත මහා පරිමාණ ගොවිපලකට අක්කර දහස් ගණනක් ඇතුළත් වෙනවා. එතකොට එහෙම තත්වයකදී කොහොමද ඔය සොබාදහම් ගොවිතැන් ක්‍රමය ආදේශ කර ගන්නේ ?

මුලින්ම කියන්න ඕනෑ ඒ වගේ පැතුරුණු ගොවිපොලවල් නොතිබිය යුතු බවයි. ඇමරිකානු වර්තමාන ගොවිතැන් ක්‍රමය යටතේ නගරවල සිටින ලක්ෂ ගණන් අති විශාල ජනකායකට මිනිසුන් කිහිප දෙනෙකු පමණක් කෑම සපයනවා යයි කියන්නට සිදු වීමත් අවාසනාවන්ත දෙයක්. ජපානයේ සාමාන්‍ය ගොවි බිම් ඇමරිකාවේ තරම් නැහැ. ඒත් ඒවායේ අක්කරයකින් ලැබෙන ආදායම ඉතා ඉහලයි. මට මගේ ගොවිපලේ වැඩ හැම එකක්ම කිසිම මැසිමක් නැතුව අතින්ම කරන්න පුළුවනි. ඒත් මං හිතන්නේ ඔයාලගෙ ඔය දැවැන්ත ගොවිපලවල් වලට නං අඩු ගණනේ අස්වැන්න එකතු කර ගන්න හරි මැෂින් ඕනෑ වේවි කියලයි. මේ කාලේ නගරේ මිනිස්සු ගමට ඇවිල්ලා පදිංචි වෙන නැඹුරුවක් තියෙන නිසා ඒ අය තමන්ගේ කෑම තමන්ගේ වතු වලම වවා ගන්න පටන් ගනීවි. එහෙම වෙනකොට මැෂින්මත, භූගත ඉන්ධන මත රඳා පැවතීමත් අඩුවෙලා යාවි, සොබාදහම් ගොවිතැන් උපක්‍රම භාවිතයත් වැඩිවෙලා යාවි.

එහෙමනං ඔබ හිතන්නේ අනාගතයේදී උතුරු ඇමරිකාවෙත්, සොබාදහම් ගොවිතැන පැතිරිලා යන්න පුළුවන් කියලයි?

ඔව් ! ඔව් ! ඔබ සොබාදහම ගැන කියන කොට වැදගත් වෙන්නෙ ඒක ඇමරිකාවෙද, අප්‍රිකාවෙද, ඉන්දුනීසියාවෙද, චීනයෙද කියන එක නෙමේ... සොබාදහම කියන්නේ සොබාදහමමයි.  මේ කාලෙ වෙනකොට නූතන කාර්මික ගොවිතැන ලෝකය පුරාම පැතිරිලයි තියෙන්නේ. එ වගේම සොබාදම් ගොවිතැනත් ඕනෑම තැනක (වගේ) කරන්න පුළුවන්.
මමත් ලෝකෙ වෙනත් පැත්තක ඉඳලා සංචාරයකට පැමිණි ගමේ ගොවියෙක්. මගේ පිදුරු ගහේ පර්යේෂණයෙන්, මිනිසාට සොබාදහමත් එක්ක සමගියෙන් එකතුවෙලා කොහේ හිටියත් ජීවත් වෙන්න පුළුවන් වෙන ක්‍රම විධි කීපයක් සොයාගන්න පුළුවන් වුණා.

ඒත් ඔබේ ක්‍රමය යෙදිය යුත්තේ මේ රටේ දේශීය වර්ධන රටාවන්ට අනුගතව නොවේද?

හැම ස්ථානයක්ම තරමක් දුරට විශේෂත්වයක් දරන බව ඇත්ත. දැන් මේ මැසචුසෙට්ස් ප්‍රාන්තය තියෙන්නේ පැසිෆික් සාගරයෙන් හුඟක් ඈත, මං ඉන්න ෂිකෝකු දූපත තියෙන්නෙ ඊටත් වඩා ඈතින්. ඒ නිසා මං ලබාපු අත්දැකීම් මෙහාටත් යොදන්න බැරිවේවි කියලයි හිතෙන්නේ. ඒත් මං මගේ පුංචි ගොවිපොලේ කරපු පර්යේෂණ වලින් ප්‍රායෝගික පරීක්ෂණයට ලක්කල වගා තට්ටුමාරු ක්‍රමයක් හොයාගන්න පුළුවන් වුණා. ඒ නිසා මම අත්හදා බලලා සාර්ථක වෙච්ච ඒ ක්‍රම ඕනෑම තැනක- මෙහේ ඇමරිකාවේ වෙරළාශිත ප්‍රදේශවලට වුණත් යොදා ගන්න පුළුවනි.

හැබැයි එහෙම පටන් ගන්න අයට මුල් අවුරුද්දේ යම් යම් ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවනි. මගේ වගා වලට තරම් හොඳ ප්‍රතිඵල නොතියෙන්න පුළුවනි. ඒත් එතකොට ඒ ගොවියාට පැහැදිලි වෙනවා එයා කරපු දේ සාර්ථක නොවුණේ ඇයි කියන එක. සමහර විට කිසියම් බෝගයක් පරක්කු වෙලා වගා කළා වෙන්න පුළුවනි, නැත්නම් ඒ දේශගුණයටත් පසටත් නොගැලපෙන වැරදි බෝග වර්ගයක් වගා කළා වෙන්න පුඵවනි. ඒත් දෙවැනි වසර වෙනකොට, කළ යුත්තේ කුමක්ද කියලා එයාට වැටහෙන්න ඕනෑ. සොබදහම් ගොවිතැන ප්‍රගුණ කරන හැම කෙනාටම මම කියන්නේ මගේ හැදෑරීම් හා පර්යේෂණ වල වාසි ලබා ගෙන ඒවා ඇති සැටියටම යොදන්න කියන එකයි. ඒක තමයි පටන් ගන්න හොඳම බුහුටි ක්‍රමය. එහෙම නැතුව ඔබේ ක්‍රමය අනුව ඔබේ පලාතේ සැබෑ ස්වාභාවය ඔබම සොයාගන්න ගියොත් ඒක හොයා ගන්න තවත් අවුරුදු 20 ක් 30 ක් ගත වෙන්න පුළුවනි- ජපානයේදී මට කරන්න වුනා වගේ. ඒ හින්දා කළ යුතු දේ තමයි ඔබේ පූර්ව නිගමන- පූර්ව සංකල්ප අතහැරදාලා කෙලින්ම වැඬේට බහින එක !

ඒ කියන්නේ, තර්කානුකූල වීම සම්පූර්ණයෙන්ම අතහැරලා දාන්නය කියලද ඔබ ඔය කියන්නේ?

ඔව්

ඒ වුණාට ෆුකුඕකා මහත්මයා, ඔබේ පර්යේෂණ කටයුතු වලදී ඔබ යොදාගෙන තියෙන්නෙත් තර්කය නෙ. දැං  ඔබ අපට කියනවා තර්කානුකූල වීම අත් ඇරලා දාන්නය කියලා?

ඔව්! හරියට හරි! ඔබේම මත සියල්ල මොහොතකට අත හැරලා- පැත්තකින් තියලා, මගේ පර්යේෂණවල ප්‍රතිඵලය අලුත් ක්‍රමයකට සිතීමේ බීජයක් කරගන්න. සමහර විට කෙනෙක් හිතන්න පුළුවනි- “මගේ පලාතේ දේශගුණය එයාගේ දේශගුණ තත්වයන්ට වඩා වෙනස්. ඒ නිසා සුදු ඇඹිලිය (උඳුපියලි) යොදනවට වඩා වෙනත් ක්‍රමයක් භූමිය වැහෙන්න යොදන්න ඕනෑ, කියලා. ඒ තර්කයත් එක්ක ඔබේ අදහස වෙනස් කළොත් ඔබ දන්නෙම නැතුව තව ගව්ගානක් ආපස්සට යන්න පුළුවනි. උඳුපියලිය කියන්නේ වල් පැළෑටි රඳවා ගන්නත් පස අලුත් කරන්නත් හොඳම දෙයක්.

එත් උඳුපියලිය වලත් එක එක වර්ගත් තියෙනවනේ?

අන්න පේනවද? මං කියන්නේත් ඒකම තමයි. ඔය කතා කරන්නේ ඔබේ තර්කය තමයි! ඔය තරං ප්‍රහ්ණ කරන්න යන්න එපා මං කියනවා නං සුදු උඳුපියලිය (ඇඹිල්ල) කියලා, ඔඹ ඒක යොදන්න, රතු වර්ගය යොදන්න කියනවා නං රතු එක යොදන්න. මං කාලයක් තිස්සේ ඒ ඔක්කෝම වර්ග-වෙච්, ඇල්ෆල්ෆා, ලුපයින් ටී්‍රෆොයිල් (Vetch, Alfalfa. Lupine, Trefoil) මගේ සොයා ගැනීම් අනික් අයත් සනාථ කරලා තියනවා. පෙන්සිල්වේනියාවේ රොඩෙල්ගේ කාබනික ගොවි පර්යේෂණ කේන්ද්‍රයට ගිය වෙලේ ඒ අය කරලා තියෙන පර්යේෂණ වලිනුත් ඔප්පු වුණේ පොළොවෙ වැසෙන හැටියට වවන්න හොඳම තෘණ වර්ගය සුදු උඳුපියලිය කියන එකයි.

වයඹ පැසිෆික්වල  තියනවා ගොවින්ගේ වගාකරුවන්ගේ ජාලයක් ටිල්ත් (Tilth) කියලා. ඒ අය පටන් ගත්තා “උඳුපියලිය ව්‍යාපෘතිය” කියලා එකක්. ඒ කෙඳි ඔරෙගොන්, වොෂිංටන්, ඉඩාහෝ, බිතාන්‍ය කොළොම්බියා කියන පළාත් වල සාමාජිකයෝ බාර්ලි, ඉරිඟු කුඹුරු අතරෙත්, ඇපල් වතු අතරෙත්, එළවළු පාත්ති අතරෙත් උඳුපියලිය වලා කරලා බැලුවා ඒකෙං අත්දැකිමක් ලබා ගන්න. ඒ වගේ පාර්යේෂණයක් වැදගත් කියලා ඔබ හිතන්නේ නැද්ද?

හොඳයි හොඳයි. ඒ වුණාට එහෙම දේවල් කරලා ගත්තු ප්‍රතිඵල දැනටමත්  අපේ ඉස්සරහ තියෙනවානේ ම! මං ඔය වගේ පර්යේෂණ කලේ අවුරුදු 25 කට ඉස්සර. දැන් ඒවයේ ප්‍රතිඵල බලල අනෙක් අයට ප්‍රයෝඡන ගන්න පුළුවනි. ඒ ගැන විශ්වාසය විතරක් ඇති කර ගත්තොත් කාලයත් ශ්‍රමයක් ඉතුරු කර ගන්න පුළුවනි.

විශ්වාස කරනවාය කියන එය ඇමරිකාවේ අයට කරන්න අමාරු දෙයක්. ඒ ගොල්ලන්ට ඕනෑ තමන්ම පර්යේෂණ කරලා ඒක දැනගන්නයි. ඒත් ඍජුම ප්‍රවේශය තමයි විශ්වාස කිරීම.

සමහර අය ඔබේ වගා න්‍යාය තුළ ආධ්‍යාත්මික එහෙම නැත්නම් ගූඪ ගුණයක් දකිනවා. ඔබට දැනෙනවාද ඔබ දිව්‍යමය මුලාශ්‍රයකින් උදව්වක්, අනුප්‍රාණයක් ලබනවය කියල?

හුඟ දෙනෙක් එහෙම හිතනවා. අපි ගොවිතැන පුහුණු වෙනකොට සොබාදහම අපට උදව් කරනවා වවන්න. ඒක සම්පූර්ණයෙන්ම මානව කේන්ද්‍රීය දෘෂ්ඨිකෝණයක්. අපි තේරුම් ගන්න ඕනෑ කරන දේ තමයි, සොබාදහම අපට දෙන්න තීරණය කරලා තියෙන දේ අපට ලැබෙනවය කියන එකයි. ගොවියෙක් තමා වවන දේ නිර්මාණය කරන්නේ නෑනෙ. මනුෂ්‍යයා කියන්නේ සොබාදහමේ ප්‍රකාශණ ක්‍රියාවලියේ එක් කුඩා කොටසක් පමණයි. ඒ ක්‍රියාවලියට බලපෑම් කරන්න ගොවියට හැකි වන්නේ සුඵ වශයෙන් පමනයි. එයාට කරන්න තියෙන්නේ එතන ඉඳලා තමාට කරන්න පුළුවන් සුඵ කොටස කරන එක විතරයි.

මිනිස්සු සොබාදහමට සම්බන්ධ වෙන්න ඕනෑ කුරුල්ලෙක් වගෙයි, කුරුල්ලෝ වගා බිම් හදලා පැල හිටවලා අස්වැන්න කපා ගන්නෙ නැහැ. ඒ අය කිසි දෙයක් නිර්මාණය කරන්නෙ නැහැ. ඒ අය කරන්නේ තමන් වෙනුවෙන් වෙන්වි ඇති දෙය කෘතඥාතා පූර්වකව, යටහත්ව බාර ගන්න එක විතරයි. අපි අපේ පෝෂණය ලබා ගන්නෙත් පොළෝ අම්මගෙන්- මහී කාන්තාවගෙන් තමයි. ඒ නිසා සොබාදහමත් එක්ක වැඩ කරන කොට අපි කරන්න තියෙන්නේ අපේ අත්දෙක එක් කරලා “කරුණාකරලා” කියන එකයි “ස්තූතියි” කියන එකයි කියන්න විතරයි.

ඔබේ ඔය වෙනස් ආකල්පයත් එක්ක, ඔබ හිතනවාද ඔබේ ක්‍රමයට, අපි දැන් කරගෙන යන ක්‍රමයට වඩා බලපෑමක් ඇති කරන්න හැකි වේවිය කියලා?

ඔව්, ඒ ක්‍රමයෙන් අපේ ජීවන මාර්ගය වෙනස් වෙන්න ඇරියාම, අපේ මේ වර්තමාන යුගයේදී නිර්මාණය වෙලා තියෙන බොහොම ගැටලු නිරාකරණය කරගන්න පුළුවන් වේවි කියලයි මං හිතන්නේ. දැන් මේ ලෝකේ ඇති වෙලා තියෙන, ඇති වෙමින් යන අධිවේගී-දියුණුවේ ගැනත්, විද්‍යාත්මක දියුණුවේත් අඩුපාඩු ගැන දැන් මිනිස්සුන්ට පෙනෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම පරමාණු බල මධ්‍යස්ථාන ගැනත්, තල් මසුන් මැරීම වැනි දේ ගැනත් දැන් මිනිස්සු ප්‍රශ්න කරන්න පටන් අරගෙන තියෙනවා. ඒවායේ අගය නැවත මැනලා බලන්න කාලය ඇවිල්ලය කියලත් මිනිස්සු හිතනවා.

ස්වාභාවික ජීවන ක්‍රමයක් අනුව ජීවත් විමෙනුත් ඒවාගේ ක්‍රමයක් මේ වර්තමාන යුගයට ප්‍රයෝජනවත් වෙන ආකාරයක් නිරූපණය කරලා පෙන්විමෙන් මිනිසාට සේවයක් කරනවය කියලයි මට දැනෙන්නේ. මගේ කුඹුරු බලා ගන්න කෙනා හැටියට මං මගේ වගාවන්ට විනාශකාරි තාක්ෂණ ක්‍රම යොදා ගැනිමෙන් ඒවායේ තිරිසන් සතුන් වැනි ජීවින් විනාශ කිරීමට-වඳ කිරීමට ක්‍රියා කිරීමෙන් වලකිනවා. දැං අපේ කාලෙ තියෙන ගැටළු වලට අපි අපේ හදවත් වලිනුත්, ක්‍රියාවෙනුත්, මුහුණ දෙන්න ඕනෑ. මට පෙනෙන හැටියට නං, සොබාදහම් ගොනැතැනේ අවසාන ඉලක්කය බෝග වගා කිරීම නෙමේ. මනුෂ්‍යයන් වර්ධනය කරලා පරිපූර්ණත්වයට පත් කරන එකයි.