ඔබ කවියෙක් නම් මෙම කඩදාසිය මත වළාකුලක් පාවෙන බව ඔබට ප්‍රත්‍යක්‍ෂව දැකිය හැක. වලාවක් නොමැතිව වැස්සක් නොමැත. වැස්ස නොමැතිව ගස්වලට වැඩීමක් නැත, ගස් නොමැතිව අපට කඩදාසි නිපදවිය නොහැක. කඩදාසියේ පැවැත්ම සඳහා වළාකුළු අත්‍යවශ්‍යය. වළාකුල එහි නොතිබේ නම් මෙම කඩදාසියද මෙහි නොමැත. ඒ අනුව වළාකුල හා කඩදාසිය “අන්තර්ජීවී” ලෙස පැවසිය හැක. “අන්තර්ජීවී” වචනය මෙතෙක් ශබ්ද කෝෂයට ඇතුළත්ව නොමැත. එහෙත් “අන්තර්” යන උපසර්ග පදය “වන්නේය” යන ක්‍රියාපදයට එක් කළවිට “අන්තර්ජීවී වන්නේය” යන ආඛ්‍යාතය අපට ගත හැක.
මෙම කඩදාසිය තුළට වඩාත් ගැඹුරින් නෙත් යොමු කලහොත් ඒ තුළ හිරු එළිය අපට දැකිය හැක. හිරු එළිය නොමැති නම් වනාන්තරයට වැඩිය නොහැක. ඇත්ත වශයෙන්ම කිසිවකට වැඩිය නොහැක. හිරු එළිය නොමැතිව අපට පවා ජීවත් විය නොහැකිය. එනයින්, මෙම කඩදාසිය තුළ හිරු එළිය පවතින බව අපි දනිමු. කඩදාසිය හා හිරු එළිය අන්තර්ජීවී වන්නේය. අඛණ්ඩව නිරීක්ෂණය කලහොත් ගස් කපා ඒවා කඩදාසි බවට හැරවීමට කම්හලට ගෙන එන දැව කපන්නා අපට දැකිය හැක. අප තිරිඟු ගැන සලකා බලමු. දිනපතා ආහාර නොමැතිව දැව කපන්නාට පැවැත්මක් නොමැති බව අපි දනිමු. එහෙයින් ඔහුට ආහාරයක් වන තිරිඟු මෙම කඩදාසියද වන්නේය. දැව කපන්නාගේ මව හා පියාද එහි අන්තර්ගතය. මේ ආකාරයෙන් බලන විට මේ සියල්ල නොමැතිව කඩදාසියට පැවතිය නොහැකිය.
මීටත් වඩා ගැඹුරින් නිරීක්ෂණය කළහොත්, අපද එහි සිටින බව අපට දැකිය හැක. අප කඩදාසි කොළයක් දෙස බලන විට කඩදාසිය අපගේ දෘෂ්ඨියේ කොටසක් බවට පත්වන නිසා, මෙය නිරීක්ෂණය කිරීම අසීරු නොවේ. ඔබගේ මනස ඒ තුළ ඇත, මගේ මනසද එසේමය. ඒ නිසා, සියළු දෙය මෙම කඩදාසිය සමඟ ඇති බව පැවසිය හැක. මෙහි නොමැති එක දෙයක් හෝ පෙන්විමට ඔබට නොපිළිවන-කාලය, අවකාශය, පොළොව, වැස්ස, පස්වල ඇති ඛනිජ, හිරු එළිය, වළාකුල, ගස, තාපය මෙම කඩදාසිය සමඟ සියල්ල සහජීවීව පවතී. “අන්තර් වන්නේය” යන වචනය ශබ්ද කෝෂයට ඇතුළත් කළ යුතුයැයි මම සිතන්නේ එහෙයිනි. ඔබට හුදෙක්ම තනිවම ඔබ විය නොහැක. අනෙක් සැම දෙයක් සමගම ඔබ අන්තර්ජීවි විය යුතුය. මෙය කඩදාසියක් වන්නේ අන් සියල්ල එය නිසාය.
යම් දෙයක මූලධාතු වලින් එකක් එහි ප්‍රභවය වෙත ආපසු යැවීමට උත්සාහ කරන්නේයැයි සිතමු. හිරු එලිය අප ආපසු හිරු වෙත යවන්නට උත්සාහ කරන්නේ යැයි සිතමු. එසේ නම් මෙම කඩදාසි කොළයට පැවතිය හැකි යැයි ඔබ සිතන්නේද? හිරු එළිය නොමැතිව කිසිවෙකුව පැවතිය නොහැක. දැව කපන්නා ඔහුගේ මව තුළට ආපසු යැවුවහොත් එසේ නම් අපට කඩදාසි කොළයක් නොමැත. මෙතන ඇති සාධකය නම් මෙම කඩදාසි කොළය නිර්මාණය වී ඇත්තේ “කඩදාසි නොවන මූලධාතු” වලින් පමණකි. මෙම කඩදාසි නොවන මූලධාතු ඒවායේ ප්‍රභවයන් වෙත ආපසු හරවා යැවුවහොත් කිසිසේත්ම කඩදාසියක් පැවතිය හැකි නොවේ. මනස, දැව කපන්නා, හිරු එළිය ආදිය වැනි කඩදාසි නොවන මූලධාතු නොමැති නම් කඩදාසි මෙහි නොමැත. මෙම තුනී කඩදාසිය මෙන්ම විශ්වයේ සියල්ල ඒ තුළ පවතී.
පරිවර්තනය H A සිරිවර්ධන
source: http://plumvillage.org/
Photos - desktopwallpaperhd.net