ෂම්බාලා සෙන්පතියන්ගේ වෘත්තාන්තය
එඞ්විනා ෂෝ (Edwina Shaw) විසිනි.
ලෝක සාමය නිර්මාණය කිරිම සඳහා අපගේ අභ්‍යන්තර සෙන්පතියා වැළඳගැනීම.
කෑදරකම හා දූෂණය හරහා ලෝකය වැනසී යාමේ තර්ජනයට ලක් වන අවස්ථාවලදී ෂම්බාලා රාජධානිය පැන නගින්නේය යන තිබ්බතීය ජනප්‍රවාදයක් ඇත්තේය.
එහි තව දුරටත් කියා ඇත්තේ බටහිර හා පෙරදිග මහා බලවතුන් දෙකොටසක් තමන්ට පොදු ලක්‍ෂණ ඇතත්, එකිනෙකා විනාශ කිරීමේ පරමාර්ථයෙන් මහා භයානක යුද අවි රැස් කිරීමේ යෙදී සිටින කාලය ෂම්බාලාව මතු වන කාලය බවය. මෙහිදී පෙනී යන්නේ සෑම ජීවී සත්ත්වයෙකුගේම ජීවිත අනතුරේ පවතින බවය. එය ලෝක විනාශය ඇති වන කාලයකි. වර්තමානයේදී අප මුහුණ දී සිටින්නේද එබඳු කාලයකට බව බොහෝ දෙනෙකුට පෙනී යනු ඇත. ෂම්බාලා සෙන්පතියන් පැන නැගී මහා සුවපත් කිරීමක යෙදෙන්නේ එබඳු කාලයකය.
මෙම අනාවැකිය පිළිබඳ නොයෙකුත් විවරණ ඇත. සමහරු ෂම්බාලා අධිරාජ්‍යයේ පැමිණීම යන්න කෙනෙකුගේ අභ්‍යන්තර ආධ්‍යාත්මික ගමන පිළිබඳ රූපකායක් සේ ගනිති. තවත් අය සිතන්නේ, එය බාහිර වශයෙන් ලෝකය තුළ අප කරන දේවලට වෙනස් ලෙස සිදු වන වෙනසක්ය කියාය. ෂම්බාලා සෙන්පතියන්ගේ පැන නැගීම පිළිබඳ පහත සඳහන් පුවත අපට ලැබෙන්නේ උතුරු ඉන්දියාවේ තාෂි පොං ජනපදයේ සොග්‍යාල් රිම්පොචේ වෙතිනි. එය අප වෙත වාර්තා කරන ලද්දේ එම රිම්පොචේ තුමාගේ මිත්‍ර ජොආනා මෙසී විසිනි.
“සමහරු ෂම්බාලා අධිරාජ්‍යයේ පැමිණීම යන්න කෙනෙකුගේ අභ්‍යන්තර
ආධ්‍යාත්මික ගමන පිළිබඳ රූපකායක් සේ ගනිති. ”
මෙම ෂම්බාලා සෙන්පතියෝ නම් කවරහුද?
ෂම්බාලා අධිරාජ්‍යය පැන නගින්නේ මෙම අති භයංකර හා ව්‍යාකූල වර්තමාන කාලය තුළය. එම අධිරාජ්‍යයෙන් සෙන්පතියන් පැමිණෙන්නේ ද්වේෂය හා අවි ආයුධ වපුරන්නන් මුලිනුපුටා දැමීම සඳහාය. එම සෙන්පතියන්ට තමන්ගේම කියා භූමියක් නැත. ඔවුන් වාසය කරන්නේද යුධ බළයන් වාසය කරන භූමීන් තුළමය; එසේ සිටිමින් ඔවුහු විනාශය කෙරේ යොමු වූ අය අතර ගැවසෙති. එහෙත් ලෝකය සාමය හා සුවතාවය වෙත රැගෙන එනු ලබන්නේ ෂම්බාලා සෙන්පතියන්ගේ පුද්ගල ධෛර්යය හා කරුණාබර ප්‍රඥාව හරහාය.
ෂම්බාලා සෙන්පතියන්ට නිළ ඇඳුමක් නැත; සලකුණක් නැත; වීදියේ යන විට ඔවුන්ට එකිනෙකා හඳුනා ගැනීමට පවා නොහැකි විය හැක. එය පෞද්ගලික මාවතකි. එහෙත් මේ ආධ්‍යාත්මික මනුෂ්‍යයෝ , සමූලඝාතක අවි සිඳ බිඳ දැමීම සඳහා මහ බලවතුන්ගේ ඉස්තෝප්පු වෙත යවනු ලබති. ෂම්බාලා සෙන්පතියෝ මහා වෙනසක් හා සුවතාවක් ඇතුළතින් රැගෙන එති. සොග්‍යාල් රිම්පොචේ පවසන්නේ, ඔවුන්ට එය නිර්භයව කළ හැක්කේ, ඒ අවි ආයුධ සාදා ඇත්තේ මනසින් බැවින්, ඒවා ඉවත් කිරීමද මනසින්ම කළ හැකි බව දන්නා නිසාය කියාය. විනාශකාරී බලවේග පැමිණෙන්නේ අපට පිටතින් නොව ඇතුළතින්ම බවද, මුළු ලොවටම තර්ජනයක් වී ඇති අවි සාදනු ලබන්නේ අපගේම කෑදරකම, රාගය හා ද්වේශය මගින් බව ෂම්බාලා සෙන්පතියෝ දනිති.
“ෂම්බාලා සෙන්පතියෝ යනු, මහා වෙනසක් හා සුවතාවයක් ගෙන
ඒමට අපේක්‍ෂා කරන සරල මනුෂ්‍යයෝම වෙති.
කරුණාවේ හා ප්‍රඥාවේ ආයුධ
අප සියලු දෙනාට තර්ජනයක් වී ඇති ආයුධ සහමුලින් වනසා දමා මහ බලවතුන් අතර වෙනසක් ඇති කිරීම සඳහා ආධ්‍යාත්මික සෙන්පතියෝ තම තමන්ගේම ආයුධ වලින් පුහුණුව ලැබිය යුතු වෙති. එහිදී පුහුණු විය යුතු ප්‍රධාන ආයුධ දෙක නම් කරුණාව හා ප්‍රඥාවය. කරුණාව අත්‍යවශ්‍ය වන්නේ, ඉන් අනුන්ගේ දුක දැක අප කම්පාවට පත් වන බැවින් හා එම දුක සමනය කිරීම සඳහා ක්‍රියා කිරීමට අප පෙළෙඹෙන බැවිනි. (කරුණාවන්ත ලෙස අසා සිටින්නේ කෙසේද? යන ලිපිය කියවා බලන්න). එහෙත් කරුණාව පමණක් ප්‍රමාණවත් වන්නේ නැත; අප අවට ඇති දුක් වේදනාවන්ගෙන් ඉහවහා ගොස්, කේන්තිය හා අපේක්‍ෂා භංගත්වය ඇති විය හැකි බැවිනි. එබැවින් අපගේ උණුසුම් හැඟීමට ව්‍යුහයක් ලබා දීම සඳහා ප්‍රඥාවද අවශ්‍ය වේ. අපගේ කාරුණික හදවත්, අප අත්දකින සියලු දේ ඇති අන්‍යෝන්‍ය සම්බන්ධය පිළිබඳ තාර්කික අවබෝධයක් සමගද එක් විය යුතුය. එය බාහිර බලවේග අතර සටනක් නොව්. සෑම මිනිස් හදවතක් තුළම හොඳ හා නරක ගුණාංග පිළිබඳ තීරණයකට එළඹීමකි.
විදර්ශනාවෙන් පැහැදිලි වන්නේ පවිත්‍ර අදහසකින් කෙරෙන සෑම කාර්යයකින්ම අප සිතනවාට වඩා විශාල ප්‍රතිඵලයක්, විශේෂ සුවතා රැල්ලක් නිර්මාණය වේ. විදර්ශනා ප්‍රඥාව තනිව ගත් විට, සිසිල් හා නොබැඳුණු ස්වභාවයක් ඇතත් එය ක්‍රියා කිරීම සඳහා චලනය වීමට කරුණාවේ ශක්තිය හා තාපය අවශ්‍යය. මුළු ලොවම වෙනස් කරන, සුවපත් කරන ප්‍රඥාවන්ත කාර්යයන් නිර්මාණය වේ. එසේ වන්නේ සෙන්පතියන් විශාල සංඛ්‍යාවක් එක්ව ක්‍රියා කළහොත්ය.
ෂම්බාලාහී ආරම්භය
ෂම්බාලා සංකල්පයේ මූලය ඇත්තේ, ටිබැට් රටේ සූර්ය වන්දනය සහිත දේශීය ආගමක් තුළය. මහායාන බුදු දහම ටිබැටයට සම්බන්ධ වූ පසු එය මිනිසුන් සතුටින් සාමයෙන්, ප්‍රඥාවන්තව, ධෛර්යවන්තව, කරුණාබරව ජීවත් වන සාම්ප්‍රදායික රාජ්‍යයක් බවට හැරිණ. මෙම අදහස බටහිරට පළමුව රැගෙන යන ලද්දේ එස්නෙවාඞ් කසෙල්ලා නම් කතෝලික පූජකවරයෙකු විසිනි. 1627 දී ඒ ගැන ඇසූ ඔහු, ෂම්බාලාව සොයා ගැනීම සඳහා පිටත් විය. 1930 , 1940 පමණ කාලය දක්වා බටහිර වැසියන් මෙම ගූඪ රාජ්‍යය හා එහි රහස් සොයා ගැනීම සඳහා ටිබැටයට හා උතුරු ඉන්දියාවට පැමිණියහ. 19 වන සියවසේ අග භාගයේදී තියොසොෆි සංගමයේ ආරම්භක හෙලේනා බ්ලැවැට්ස්කි මැතිණිය, ටිබැට් ප්‍රඥාව හා ෂම්බාලා පිළිබඳ අදහස බටහිර ආධ්‍යාත්මික ගවේශකයන්ට ඉදිරිපත් කළාය. චීන ආක්‍රමණයේදී ටිබැටයෙන් පලා යාමට සිදු වූ බෞද්ධ භික්‍ෂුවක වූ චොංග්‍යම් තෘංපා හිමියන්ට, එම ආක්‍රමණයෙන් වැළකී ගුහාවක රැඳී භාවනා කරමින් සිටියදී, “ත්‍රෙර්මාවක” (සැඟවුණු නිධානයක) ස්වරූපයෙන් ෂම්භලා පිළිබඳ සැඟවුණු ඉගැන්වීම් ලැබී ඇත. උන්වහන්සේ ඒවා ලියා තබා ගත් නමුදු චීන ප්‍රහාරයකදී ගඟකින් එතෙර වීමට යද්දී ඒ සියල්ල දියේ ගසා ගෙන ගොස් ඇත.
එහෙත් වසර කීපයකට පසුව, එම ඉගැන්වීම් නැවත ලබා ගත හැකි වූ අතර උන්වහන්සේ එම ඉගැන්වීම් බටහිර වැසියන්ට ලබා දීම සඳහා බටහිරට පිවිසියහ. උන්වහන්නේ ඇමරිකාව තුළ බෞද්ධ විශ්ව විද්‍යාලයක් ආරම්භ කළ අතර, ලෝකය පුරා භාවනා මධ්‍යස්ථාන - විශේෂයෙන් ෂම්බාලා සෙන්පතියන් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන - ද ආරම්භ කළහ. උන්වහන්සේ ෂම්බාලාව පිළිබඳ ලියූ කෘති අතර ෂම්බාලා : සෙන්පතියාගේ පූජනීය මාර්ගය (Shambhala : The Sacred Path Of The Warrior)", ආධ්‍යාත්මික භෞතිකවාදය පෙති ගසා (කපා) දැමීම (Cutting Through Spiritual Materialism) ප්‍රමුඛ වේ. උන්වහන්සේ බටහිර රටවල ෂම්භලා ඉගැන්වීම් වල පියා ලෙස සැලකිය හැකිය.
“මෙම ගුප්ත රාජ්‍යය සොයා ගැනීම සඳහා බොහෝ ගවේශන කර ඇත.”
නිවස තුළ ෂම්බාලා පුහුණුව
තෘංපා හිමියන් ආධ්‍යාත්මික සෙම්පතියන් සඳහා විශේෂ මධ්‍යස්ථාන පිහිටුවා ඇතද ඒවා කෙනෙකුට ගෙදරදී කළ හැකි තරම් සරලය. ෂම්භලාභී කේන්‍ද්‍රීය විශ්වාසය නම්, මිනිසුන්ගේ ආවේණික යහපත්භාවයය. “මූලාරම්භක පාපය” (ගැන) අමතක කරන්න, අපි මේ සිටින පරිදිම යහපත් හා ප්‍රඥාවන්ත වෙමු. මූලික පුහුණුව නම් සම්මා සති භාවනාවයි. එනම්, හුස්ම ඉලක්ක කර ගනිමින්, සිතුවිලි රටාවන් - විශේෂයෙන්ම අප වටා “කෝෂයක්” නිර්මාණය කෙරෙන, අපට හෝ අන් අයට යහපතක් වන හෝ නොවන, කිසියම් විශේෂ ආකාරයකට ක්‍රියා කළ යුතු වන දරදඬු සිතුවිලි රටාවන් පිළිබඳව අවධානය යොමු කිරීමයි. භාවනාව හරහා අපි, අවසානයේදී සියලු ජීවීන්ගේ ඒකත්වය පිළිබඳව අපගේම පෞද්ගලික ප්‍රත්‍යක්‍ෂයකට පැමිණෙන්නෙමු. ලෝකය සුවපත් කිරීමට අවශ්‍ය මෙවලම් වූ කරුණාව හා ප්‍රඥාව පැන නගින්නේ ඒ හරහාය.
ෂම්බාලා පුහුණුව පිළිබඳ ඉතා සිත් ගන්නා සුලු කරුණක් නම්, ඒ සඳහා විශේෂ ආගමකට බැඳී සිටීමක් හෝ ලෝකයෙන් ඉවත්ව සිටීමක් අවශ්‍ය නොවන බවය. එය අපට ලෝකය සුවපත් කිරීම සඳහා සාමාන්‍ය ගිහියන් ලෙස භාවිතා කළ හැක්කකි. සාමය හා සුවපත් කිරීම සඳහා සටන් කරන “සෙන්පතියා” යන යෙදුම පිළිබඳ ගැටලුවක් මට මෙන්ම ඔබටද ඇත්නම්, අපට ඒ සංකල්ප ගැන කීම සඳහා වෙනත් යෙදුම්ද යොදා ගත හැකිය. “යුද්ධය නොව, ආදරය කරන්න”යන්න මා සිතින් ගත් යෙදුමකි. “සෙන්පතියා හා ආයුධ” වැනි යෙදුම් සම්බන්ධ වන්නේ දරුණු අවදියකටය, වෙනස් යුගයකටය. යුද්ධයෙන් ඇඟවෙන්නේ ගැටීම, ප්‍රචණ්ඩත්වය හා ආවේගශීලී බවය. යුද්ධ සෙම්පතියා යන්නේ පදනම එයය. ඔව්, අපට සෙම්පතියෙකුගේ නිර්භීතභාවය අවශ්‍යය, එහෙත් ඒ වෙනුවට අපට දරුවන් බිහි කරන්නට යන ස්ත්‍රීන්ගේ ධෛර්යයද ගත හැක. ඝාතනයට යොමු වන්නන්ගේ කථා වලට වඩා එය යහපත්ය.
ආයුධ වලට වඩා, මෙවලම් යන වචනයද සුදුසු බවට මම යෝජනා කරමි. එහෙත් ඒවා විනාශයේ මෙවලම් නොව සුවතාවයේ හා සැනසීමේ මෙවලම්ය.

“අප සෙන්පතියෙකු ලෙස හඳුනා ගත්තද නොගත්තද, වෙනස්වීම හා සුවතාව
කෙරේ උනන්දු කරවීම අපට කළ හැක. ”
අප අපගේ හදවත් හා ලෝකය සුවපත් කිරීම ඇරඹීමට පෙර, මෙම කාර්යයන් සඳහා යොදන වචන අලුතින් සකසා ගත යුතුය. අයුක්තියට විරුද්ධව කේන්තිය ප්‍රකාශ කිරීම වැදගත් වුවද, කරුණාව සහිත ප්‍රඥාව භාවිත කොට, ධනාත්මක කාර්යයක් වෙතට එය හරවා ගත යුතුය. අප ආදරය වෙනුවට ක්‍රෝධ කිරීම කළහොත්, සිදු වන්නේ අප අපටම හානි කරගැනීමක් පමණි. අප සෙන්පතියන් නොව ආධ්‍යාත්මික ශ්‍රමිකයන් බවට පත් වී, ආයුධ නොව මෙවලම් ලෙස කරුණාව හා ප්‍රඥාව භාවිතා කළ යුතුය.
අප කරුණාවන්ත හා ප්‍රඥාවන්ත බැවින් අපට ධෛර්යයෙන් යුතුව වෙනස් වීමට මුහුණ දිය හැකි වේ. සෑම දෙයක්ම එකිනෙක පවිත්‍ර නම්, සෑම දෙනාගේම යහපත සඳහා යොමු වී ඇත්නම්, සිදු වන්නේ යහපතක්ම බව අපි දනිමු. නිර්භීත හා මෘදු හදවත් විසින් කරනු ලබන කුඩා කාරුණික ක්‍රියා හරහා වුවද, ලෝකය සුවපත් බවට පැමිණෙනු ඇත. අප ආධ්‍යාත්මික සටනක් සඳහා මෙහෙයවීමට මහා යුද්ධ - වීර රාජයෙකු නොපැමිණෙනු ඇත. සමහරවිට ඒ වෙනුවටබොහෝ හදවත් තුළ ඇති මෘදු ප්‍රඥාව හා ආදරය විසින් එම කටයුත්තම කොට සාමය නැමති එම ප්‍රතිඵලයම ලබා දෙනු ඇත.
(පරිවර්තනය මහාචාර්ය ඩබ්. එම් ගුණතිලක)