පරිවර්තනය - මහාචාර්ය ඩබ්. එම්. ගුණතිලක
මා උපන්නේ ටිබැට් ද්‍රොක්පා (ටිබැට් සංචාරක) පවුලකය. මගේ ළමා අවදිය ගෙවුණේ ටිබැට් රටේ නැගෙනහිර වනාශ්‍රිත ප්‍රදේශයකය. අපි අපගේ සතුන්ද සමග ග්‍රීෂ්ම ප්‍රදේශවලින් සීතල ප්‍රදේශවලට යමින්, යැක් ගවයාගේ ලොමින් සෑදූ කූඩාරම් ඒ ගිය ගිය තැන්වල අටවා ගතිමු. එය සරල දිවි පෙවෙතක් වූ අතර, මගේ සතුට වූයේ මගේ සුරතල් එළුවාද සමග කඳු අතර ඇවිදින්නට යාමය. ඒ අතර විටෙක මට ‘නවා’ (ටිබැට් අර්ගලී argali), ‘ෂාබා’ (ටිබැට් සුදු තොල සහිත මුවා) ආදී සතුන් සමීපව දකින්නටද වාසනාව ලැබුණි. සමහර අවස්ථාවලදී ටිබැට් කැලෑ කොටළුවන් රංචු දිව යනුද දැකිය හැකි විය.
මට වයස 4, 5 කාලයේදී මහා නියං සමයක් ඇතිවී, අප භාවිත කළ ළිඳ ද සිඳී යන්නට පටන් ගති. මා අසාමාන්‍ය දරුවකු ලෙස එකල සැලකුණු නිසා (එහෙත් මා 17 වන කර්මපා වන බව එකල කිසිවෙකු දැන සිටියේ නැත), දිය උල්පත ආරම්භ වන තැන මා ලවා පැලයක් සිටුවන්න යැයි ගමේ උදවිය මගේ පියාගෙන් ඉල්ලා සිටියහ. ඒ අවස්ථවේදී ඒ පැලය සිටුවන විට මේ පැලය සිටුවීමෙන් මේ අවට සියලු ජීවී සත්වයන්ට ජල පහසුව ඇතිවේවා යයි ප්‍රාර්ථනා කළ සැටිද මට මතකය. මා කළේ “පරිසර හිතකාමී” ක්‍රියාවක් යයි එකල මා නොදැන සිටියද, සොබා දහමට ආදරය දැක්වීමද, පරිසරය ආරක්‍ෂා කිීමට කැපවීමද සම්බන්ධ බීජය මා තුළ රෝපණය වූයේ එම ක්‍රියාවත් සමගය.
මා වයසින් මෝරා යන විට බෞද්ධ දර්ශනය හා ඉගැන්වීම් හැදෑරීමෙන් මට සොයාගත හැකි වූ වැදගත්ම කරුණක් නම්, බුදු දහම හා පරිසර ව්‍යාපාරය අතර ඇති මහා සමමිතික බවයි. දැනට අවධාරණය කෙරෙන පරිසර සංරක්‍ෂණ ක්‍රම ඇතුළත් ජෛව විවිධත්වය, ජීවි අජීවී සියල්ලම එකම සමස්තයක කොටස්ය යන අවබෝධය, බුදු දහමේ අවධාරණය කෙරෙන එකිනෙක මත රඳාපවතින බව සමග හොඳින් ගැළපී සිටී. බුදු දහමේ සාරය රඳා පවතින්නේ කරුණාවේ හා ශූන්‍යතාවේ ඒකත්වය මත ය; එනම්, සියලු ජීවී සත්වයන් දුකින් මිදවීම කෙරේ ඇති ගැඹුරු කැපවීම හා සියලු දේම ඒවාටම ආවේණික ස්වභාවයන්ගෙන් තොර බව ය. දාර්ශනික සමස්තයක මෙකී අන්ත දෙක, විශේෂයෙන්ම පරිසර ව්‍යාපාරයේ ඉලක්කයන් පිළිබඳව අප දැනුවත් කරන බව පෙනේ. දැන් අපි එය පැහැදිලි කර ගනිමු.
කරුණාව පැහැදිලි කිරීම සඳහා බෞද්ධයන් යොදන හොඳම උදාහරණය නම් මව් පදවියයි. ඔබ මවගේ කුස පිළිසිඳ ගත් දවසේ සිට ඈ ඔබ සඳහා කළ දේවල් ගැන සිතා බලන්න. ඈ මාස නමයක් තිස්සේ ඔබ සිය කුස තුළ උසුළාගෙන සිටියාය, ඔබ උපදින මොහොතේ වූ වේදනා සියල්ල ඔබේ මුහුණ දැකීමේ ආසාවෙන් විඳ දරා ගත්තාය, ඔබ වැඩිවියට පත් වන තුරුම ඔබගේ කෑම බීම, ඇඳුම් පැළඳුම් පිළිබඳ අවශ්‍යතා නොපිරිහෙළා ඉටු කළාය. ඔබ වැඩිවියට පත්වූ පසුවද ඔබ ගැන දුක් ගත්තාය. බොහෝ මවුවරු තම ජිවිතය පුරා දරුවන් වෙනුවෙන්ම කැපවී සිටිති. පුනරුත්පත්තිය ගැන විශ්වාසයක් ඇතත්, නැතත්, සියලුම ජීවී සත්වයන් තම මවුවරුන් ලෙස සැලකීමද අපට කළ හැක. අපට රාත්‍රී කෑම සඳහා ඇති ආහාර වගා කළේද, ඒවා රැගෙන ආවේද, සූදානම් කළේද බොහෝ විට අප නොදන්නා පුද්ගලයන්ය. අප අඳින ඇඳුම් සඳහා කපු ආදිය වවා, රෙදි වියා සූදානම් කළේද බොහෝ විට අපට හමුවී නැති පුද්ගලයන්ය. එහෙත් අප ප්‍රයෝජන ගන්නේ ඔවුන්ගේ බලාපොරොත්තු වලිනි, සිහින වලිනි, ශ්‍රමයෙනි. ඒවා අපට සැපයීම සඳහා උදව් වූයේ යම් යම් පැලෑටි, සතුන් හා අමුද්‍රව්‍යයන්ය. ජීවිතය නිරූපණය කරන එකිනෙකා කෙරේ රඳා පැවතීම - අන්‍යෝනතාව යනු මෙයයි. එනම්, එක දෙයකට අන් දේවල උදව් නොමැතිව තනිව පැවතිය නොහැක. ජීවීන් සම්බන්ධවද එසේය. අපි සියල්ලෝම එකම ලෝක පරිසරයක කොටස්කරුවෝ වෙමු. මිහිකත ද අප කෙරේ අපරිමිත කරුණාවක් දක්වන්නීය.
ශූන්‍යතාව යන්න පැහැදිලි කිරීමේ හොඳම ක්‍රමය තමා (හෙවත් “මම”) උපමාවක් ලෙස ගැනීමයි. “තමා”යනුවෙන් අප සිතන්නේ කුමක් ගැනද? එම තමා හෙවත් “මම” පදිංචිව සිටින්නේ හරියටම කුමන ස්ථානයේද? හදවත තුළද? නැතහොත් මොළය තුළද? ආශ්වාස වාතය තුළද, ප්‍රශ්වාස වාතය තුළද? අපගේ අත පය චලනය තුළද අනෙක් අය සමඟ අපගේ ඇති සම්බන්ධය හෝ අන්තර්-ක්‍රියාකාරිත්වය තුළද? වයස අවුරුදු 15 හා 25 “මම” අතර විශාල පරතරයක් පවතී. මෙම අනිත්‍ය බව හා ස්පර්ශ කළ නොහැකි බව නිසා එම “තමා”, තමාටම ආවේණික ස්වයංභාවයකින් තොර ය. (නූතන විද්‍යාවට අනුවද දැනට සොයාගෙන ඇති පරිදි මෙම ශරීරය ඇතුළු ද්‍රව්‍ය ලෝකයේ සෑම දෙයක්ම තත්පරයකට, එකයි බිංදු 22 කින් කියවෙන සංඛ්‍යාවට සමාන වාර ගණනක් බිඳි බිඳී යමින් පවතින්නේය. එනම්, ශරීරය කියා දෙයක් මොහොතකටවත් නොපවතී. ශරීරය ආශ්‍රය කොට ඇතැයි සැළකෙන “මම” එයට පටිච්ච සමුප්පන්නව බිඳි බිඳී යන බැවින්, “මම” යැයි කියා කෙනෙකු මොහොතකටවත් පවතින්නේ නැත.) එබැවින්, අපගේ සතුට, දුක, සාර්ථක බව, අසාර්ථක බව ආදී සියල්ලද නොපවත්නා, ශුන්‍ය ස්වභාවයෙන් යුතු ඒවාය. මෙසේ මොහොතකට හෝ මගේ යැයි අල්ලා ගැනීමට තැනක් නැති බැවින් අපට කිසි දෙයක් කෙරේ දැඩි බැඳීමක් ඇති කර ගැනීම යනු මුළාවකි. ලොව සියලු දේම ක්‍රියාත්මක වන්නේ ඒවාටම අයත් හේතුඵල සම්බන්ධයක් අනුව බැවින් “මම කරනවා” ආදී ලෙස වෙන් කර ගැනීමක් කළ නොහැක. සියල්ලම ඉබේ සිදුවන ක්‍රියාවලියක් පමණක් බැවිනි. එසේ වූ විට සම්මතයේ සිටින “මම” හා අනෙකා අතර කිසිදු වෙනසක් තිබිය නොහැක. ලොව සෑම කෙනෙකුම හා සෑම දෙයක් සමගම සමානාත්මතාවක් ඇතිවන්නේ ඒ ආකාරයෙනි. ඒ ආකාරයෙන් කල්පනා කළ විට අපට ලොව ඇති සෑම දෙයක්ම හා සිටින සෑම කෙනෙකුම හා “තමා” අතර කිසිදු වෙනසක් නොමැති බව ප්‍රත්‍යක්‍ෂ කළ හැකි වේ.
මෙය පරිසරය හා සම්බන්ධ වන්නේ කෙසේද? මමත්වයේද, ක්‍රෝධයේද, ඇලීමේද, ලෝභකමේද මූල හේතුව වන්නේ එසේ පරමාර්ථමය වශයෙන් “මම” යැයි කෙනෙකු නැති බව නොදැනීම නිසා කරුණාව ප්‍රතික්‍ෂේප කිරීමයි. මිනිසුන් පරිසරය විනාශ කරමින් බොහෝ තිරිසන් සතුන් වඳවී යන තත්වයට පත්කර ඇත්තේද මෙම නොදැනීම හෙවත් අවිද්‍යාව නිසාය. තමා හා තමාට සම්බන්ධ දේ ගැන මගේ පවුල, මගේ ධනය, මගේ රට, මගේ ගෝත්‍රය ආදී වශයෙන් වැඩි වටිනාකමක් දෙන්නේද එකී නොදැනීම නිසාම ය. ලොව ඇති විවිධත්වය දෙස “මම” නමැති සීමිත කාචය හරහා බලනවා යනු, කිසිදු ගණනක් ගන්නේ නැතිව මහ පොළොවට හානි කළ හැකි වනවා යන්නය. එසේ වන්නේ, එවිට මහ පොළොව “මගෙන්” පිටස්තර දෙයක් ලෙස සැලකීම නිසා ය.
මිනිස් ජීවිත සොබා දහම හා සමබර නොවන්නේ නොදැනීම නිසා බව බුදු දහමින් පැවසේ. ටිබැට් සානුවේ උෂ්ණත්වය, දේශගුණික වෙනස්කම් නිසා ලොව වෙනත් බොහෝ ප්‍රදේශවලට වඩා වැඩි වේගයකින් ඉහළ නැඟීම අවාසනාවන්ත කරුණකි. ටිබැට් හි පැතිරුණු තණ බිම්වලට මෙම උෂ්ණත්වය වැඩිවීමේ ප්‍රතිඵල අත්විඳින්නට සිදුවන බැවින්, ටිබැට් වැසියන්ගේ සංචාරක ජීවන රටාවේ අවසානයද එය විය හැකි බව මගේ සිත දුකට පත්කරන්නකි. මුළු ලොවම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඞ් අංශක 2කට වඩා ඉහළ යාමේ අවදානමක් ඇතැයි යන්න දැන් සොයාගෙන ඇති කරුණකි. මේ නිසා විශේෂයෙන් හානි වන්නේ ගොවිතැන්වලට ය. ඉන්දියාවේද මේ නිසාම වී, තිරිඟු හා වෙනත් බෝංචි කුලයේ ධාන්‍ය නිෂ්පාදනය විශාල වශයෙන් අඩුවී යනු ඇත.
කාලගුණික වෙනස්වීම්වල බලපෑම ටිබැට් රටට පමණක් තනිව ඇතිවන්නක් නොවේ. ආසියාවේ මහා ගංගාවල උත්පත්ති ස්ථානය ටිබැට් රටයි. ඉංදු, ගංගානම්, බ්‍රහ්මපුත්‍ර, ඉරවඞ්ඩි, යැංසි හා මීකොං යනු එම ගංගාවන්ය. ටිබැට් රට විටෙක තුන්වැනි ධ්‍රැවය ලෙසද හැඳින්වෙන්නේ, උත්තර ධ්‍රැවයට හා දක්‍ෂිණ ධ්‍රැවයට අමතරව විශාල හිම හා ජලය ප්‍රමාණයක් තැන්පත් වී ඇත්තේ ටිබැට් රටේ බැවිනි. එම ජලය වියළී ගියහොත්, එසේ නැතිනම් විෂ වුවහොත්, මිනිසුන් ප්‍රකෝටි ගණනකට එහි අභාග්‍යසම්පන්න ප්‍රතිඵල විඳින්නට සිදු වනු ඇත. උෂ්ණය වැඩි වන විට ග්ලැසියර (හිම කඳු) දියවීමද වර්ධනය වන බැවින්, නුදුරු අනාගතයේදීම ජල ගැලීම් හා ජල හිඟයද වර්ධනය වනු ඇත. දුර නොපෙනෙන නිසා අප අපගේ ක්‍රියාවන් හා ඒවායේ දීර්ඝ කාලීන ප්‍රතිඵල අතර සම්බන්ධය දැකිය නොහැකි අන්ධයෝ වෙමු. පසුගිය අවුරුදු පණහ ඇතුළත වූ ශීඝ්‍ර ආර්ථික දියුණුව ඇතිවූයේ පෘථිවියේ භූගත ඉන්ධන මූලාශ්‍රයන් භාවිත කිරීම නිසාය. සැඟවුණු වටිනාකම් (ණය) වර්ධනය වන අතර, ඒවායේ බර දරන්නට සිදුවී ඇත්තේ තමාව රැකගැනීමට පවා නොපොහොසත් අයටය. වැඩි කල් නොගොස්ම අප සියලු දෙනාටම එම බර දරන්නට සිදුවනු ඇත.
ධනවත් හා දුගී අය අතර ඇති පරතරය වෙන කවරදාටත් වඩා අද විශාල වී තිබේ. ආර්ථික වර්ධනය මෙහෙයවන උදවියට, ධනවතුන්ට උදව් කිරීමට යාම නිසා දුගී අය අමතකව ඇති සේ ය. එසේම ලොව දුගී රටවල් බොහොමයක, ජෛව විවිධත්වය හා පරිසර විනාශය උපරිම මට්ටමක පවතී. ඊනියා ආර්ථික වර්ධන ආකෘතියට අපගේ අමිල ස්වාභාවික සම්පත් ආරක්‍ෂා කිරීමට හෝ පුනරුත්ථාපනය කිරීමට හැකිවේද? ස්වාභාවික සම්පත් ණයට ගෙන ඒවා අනාගත පරම්පරාවල භාවිතය සඳහා මුදා හැරිය හැකි වේද? එසේ නොවුණ හොත්, අප කරන්නේ පෘථිවිය තුළ ඇති ධනය සොරාගෙන ඊට ආර්ථික වර්ධනය යන නම දීමක් පමණි!
වර්තමාන ලෝක ආර්ථිකය දැවැන්ත ධනයක් ඇති සරු ගසක් සේ පෙනේ. එහි නානා ශාඛා සහ කොළ පැහැති කොළ දැක සතුටු වන අපි, එය ලෝකයේ ඇති හොඳම ගස යැයි විශ්වාස කරමු. එහෙත් අපට දකින්නට ඇත්තේ එහි ඉහළ කොටස පමණි. එහි ඉතිරි භාගය ඇත්තේ පොළොව යට ය. අප එම යට කොටස දෙස බැලුව හොත්, එම ගසේ මුල් වැරදි සත්කාරය හා නොසලකා හැරීම නිසා මැරී යමින් පවතින බව පෙනෙනු ඇත. එම තත්වය ගසේ මතුපිට කොටසටද සුළු කලකදී බල පවත්වනු ඇත. අතුවලට හා කොළවලට සාත්තු කිරීම තාවකාලික විසඳුමක් පමණි. මුල් නිරෝගී නොවේ නම්, සෞඛ්‍ය සම්පන්න ගසක් ගැන අපට සහතික විය නොහැක. එබැවින් පරිසරය හා සංවර්ධනය පිළිබඳ ලෝක සංසදය (1987) මගින් නිර්වචනය කරන ලද කල්පවත්නා වර්ධනය පිළිබඳ සංකල්පය මම බෙහෙවින් අගය කරමි. එය “තම අවශ්‍යතා සපුරා ගන්නැයි අනාගත පරම්පරාවන් අනතුරේ නොදමා වර්තමාන පරපුරේ අවශ්‍යතා සපුරා ගැනීමකි”. කෙටියෙන් කිවහොත්, පුනර්භවය පිළිබඳ සංකල්පය සත්‍ය යැයි ඔප්පු වුවහොත්, අනාගත පරම්පරාව යනු ද අපි ම වන්නෙමු.
මිනිස් අධ්‍යාත්ම සාරය තුළ මහා සතුටක් හා ප්‍රමෝදයක් මම දකිමි. අදහසක බලය ගැඹුරුය. මිනිස් අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය ගෙන බලන්න, එය ඒකාධිපති ආණ්ඩු, යුද්ධය, දුගී බව වැනි ප්‍රබල අනතුරු සියල්ල පරදවා විශ්වමය පරමාදර්ශයක් කරා යා හැකි සරල අදහසකි. එහෙත් වසර සීයකට පෙර මිනිස් අයිතිවාසිකම් යන්න ළදරු අදහසක් පමණක් විය. ජෛව විවිධත්වය ඇතුළු පරිසරය ආරක්‍ෂා කිරීම සම්බන්ධ එබඳු විප්ලවයක් අපගේ සිතිවිලි ක්‍රමය තුළ ඇති විය යුතු යැයි මම විශ්වාස කරමි. වනජීවිතය, පරිසර පද්ධතීන්, අත නොගැසූ ජල චක්‍රයන් ආදී සෑම දෙයම රැකීම සඳහා අයිතිවාසිකම් තිබිය යුතුය.
වනජීවිතයත්, පරිසර පද්ධතීනුත් ආරක්‍ෂා කිරීමට අන්තර් ජාතික වශයෙන් පොදුවේ එළඹෙන තීරණයන්ට ද, පෘථිවියේ දේශගුණයට හානි සිදුවීම සම්බන්ධයෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්‍ග සම්බන්ධයෙනුත් කෘතඥවිය යුතුය. මේවායේ කේන්ද්‍රස්ථානය උසුළන්නේ ස්වාභාවිකත්වය ආරක්‍ෂා කිරීමට දිවි දෙවෙනි කොට බැඳී ක්‍රියා කරන සුළු පිරිසකි. ඔවුන් පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැක්කේ ලෝකයේ වෙනසක් නිර්මාණය කිරීමට නම්, එම ක්‍රියාවලිය ඇරඹිය යුත්තේ අප තුළින්ම බැවිනි, පළමුව තමාම උදාහරණයක් නොවී අනුන්ට උපදෙස් දීමෙන් පලක් නැත.
පරිසරවේදී බෞද්ධ ශාන්තුවරයෙකු නම්කරන්නැයි කිවහොත් මා ඉදිරිපත් කරන්නේ භාරතයේ ශාන්තිදේව පඬිතුමන්ය. එතුමා 8 වැනි සියවසේදී තම බෝධිචර්යාවතාර නම් ග්‍රන්ථයේ මෙසේ දක්වා ඇත.
“කයින් මනසින් දුක් විඳින, සෑමතැනම වෙසෙන සියලු ජීවී සත්වයෝ, මා රැස්කරගත් පුණ්‍ය සම්භාරයේ උදව්වෙන් සතුටු සාගරයකට පත් වෙත්වා!”
එම ගාථාවෙන් ශාන්තිදේවයන් තම ජීවිතය සියලු ජීවී සත්වයන්ගේ දුක අවසන් කිරීම සඳහා කැප කිරීමට තීරණය කරන්නේ ජීවිතය හා සොබාදහම අතර ඇති අන්තර් සම්බන්ධතාව පිළිබඳ එතුමා තුළ වූ ප්‍රතිභාව නිසා ය. අප තනි තනි පුද්ගලයන් නොව, පෘථිවියේ සමස්ත ජීවිතය (ජීවය) සමගම එකට බැඳී සිටින්නන් බව අප පිළිගතහොත්, මෙහි සිදුවන අනන්ත දුක් වේදනාවන් ගැන නෑසූ කන් ව බලා සිටීම අපට කළ නොහැක. එම අවබෝධයත් සමග, සියලු ජීවී සත්වයන් කෙරේ කරුණාව දක්වමින් එය ක්‍රියාවට නැංවීම පරිසරය කෙරේ අවධානය යොමුකරන්නන් ලෙස අපට කළ හැකි හොඳම දෙයයි.
පසුගිය වසර සියය තුළ, ලෝකයේ කැලෑ දිවියන් (Panthera Tigris) 95% ක් පමණ අතුරුදන් වී ඇත. මිනිස් අවශ්‍යතා පළල් වත්ම, අප කර ඇත්තේ සොබාදහමින් වැඩි කොටසක් ආක්‍රමණය කරමින්, තිරිසන් සතුන්ගේ අයිතිය වැඩි වැඩියෙන් උදුරා ගැනීමය. එම අසිරිමත් දිවියා සම්පූර්ණයෙන්ම වාගේ අතුරුදන් වී ඇත්තේ උගේ හමට සහ ශරීර කොටස් වලට මිනිසුන්ගේ ඉල්ලුම වැඩි වීම නිසාය. අප එම සත්ව වර්ගය වඳ කරවන්නට යන්නේ උගේ හම ඇඳගැනීමෙන් අප ධනවතුන් ලෙස පෙනෙනවා යැයිද, උගේ ශරීර කොටස් භාවිතයෙන් අප නිරෝගි වෙනවා යයිද විශ්වාස කරන නිසාය. එබන්දක් කිරීම අනිවාර්යයෙන්ම අබෞද්ධ ක්‍රියාවක් වන්නා සේම, අකාරුණික ක්‍රියාවක්ද වන්නේය, අකාරුණික වන්නේ එම සතාට පමණක් නොවේ; එය අපටද ඍණාත්මක විපාක අනිවාර්යයෙන්ම ලබා දෙන්නක් බැවින් අපටද අකාරුණික වීමකි.
මිනිස් වර්ගයාගේ ගැලවීමට ඇති එකම මාර්ගය නම්, අනෙකාට කරුණාව දැක්වීමය. එම අනෙකා මිනිසුන්ද, තිරිසනුන්ද, ගහකොළ සේම මුළු පෘථිවියම විය හැක. බොහෝ මිනිසුන් මූලික වශයෙන් “වඳ” වන්නේ තම රාජකාරිය, ධනය, නිරෝගි බව හෝ පවුල පිළිබඳවය. සමහර විට ඔවුන් හඟින්නේ ඔවුන්ට කරදර වීමට පරිසරයේ ඇත්තන්ට වඩා දේවල් ඇතැයි කියා විය යුතුය. මෙම කරුණට සිත යෙදවීම යනු කෙනෙකුට යම් යම් අපහසුතා ඇති කරවන්නක් සේම, ඔවුන්ගේ ජීවිතවල වෙනස්කම් ද ඇති කරවන්නකි. මම ඊට වඩා වෙනස් අයෙක් නොවෙමි. මස් කෑම නතර කළ යුතු යයි සිතී දැනට වසර ගණනක් වුවද, මා සම්පූර්ණයෙන්ම ශාක භක්‍ෂකයෙකු වූයේ දැනට වසර කීපයකට පෙර සිට පමණි. වරක්, කෙනෙක් මැරීමට පෙර හා මරද්දී කොතරම් දුක් වේදනා විඳිනවා දැයි ඇස් පනා පිට වාර්තා චිත්‍රපටයකින් පෙන්වීය. එය දකිද්දී, සතුන්ට දැනෙන සැටි මටද දැනෙන්නට විය. එවිට විදුලියක් ගසන්නාක් මෙන් මට ප්‍රත්‍යක්‍ෂ වූ කරුණ නම්, මේ අසරණ සතුන්ට මේසා දුක් වේදනාවන් විඳින්නට සිදු වූයේ මගේ පුරුද්දක් තෘප්තිමත් කිරීමට පමණක් නොවේද යන්නය. මස් කෑම ඒ මොහොතේ පටන් මට දරාගත නොහැක්කක් විය. එබැවින් මම එය නවතා දැමීමි.
දැන් ඇති වන ප්‍රශ්නය නම්, එම “දරාගත නොහැකි” මොහොත අප සියලුදෙනාටම පැමිණෙන්නේ කවදාද යන්නයි. පැසිපික් දූපත් වසාගෙන හිමාලය පර්වතයද ගල්කුළු විවෘත වනසේ සෝදා හරින සුනාමි රැල්ලක් එන තුරු අපි බලා සිටිමුද? අපූර්ව තිරිසන්ගත සත්ව වර්ගයා වඳවී ගොස් ඔවුන් පිළිබඳ “කතන්දරය” පමණක් අනාගත පරම්පරාවලට ඉතිරි වන තුරුද අප බලා සිටින්නේ? අපගේ නොතිත් ඉල්ලීමට සරි කිරීම සඳහා සොබාදහමේ අසිරිමත් වනගහණයන් ගොවි බිම් බවට පත්කළ යුතුද? පාරිභෝගිකත්වයේ බලපෑම් පාලනය කර ගත නොහැකි නිසා, අප දිනෙන් දින තර වන “කුණු කඳු” සමග ජීවත් විය යුතුද?
21 වන සියවසේ පාරිසරික අභියෝගයන්ට සාර්ථකව මුහුණදීමට නම්, එම අභියෝගයන් අපගේ එදිනෙදා අවශ්‍යතා තෝරා ගැනීම හා සම්බන්ධ කළ යුතුය. කාලගුණ වෙනස්වීම්, ස්වාභාවික සම්පත් අසීමිත ලෙස ප්‍රයෝජනයට යෙදවීම, කැලෑ එළි කිරීම, වනජීවි වෙළඳාම ආදිය ගැන අපට කෙළින්ම කතා කළ නොහැක. මිනිස් වටිනාකම් අවදි කිරීමෙන් හා කරුණාව සඳහා ව්‍යාපාරයක් ඇරඹීමෙන් මෙම ගැටලුවල සාමාජීක හා සංස්කෘතික අංග පිළිබඳවද කතා කළ යුතුය. එසේ කළ විට, පරිසරවේදීන් වීමේ පරමාර්ථය අන් ජීවී සත්වයන් ගේ යහපතට ක්‍රියා කිරීම බවට පත් වන්නේය.
මෙය කිරීම සඳහා කළ යුතු පළමුවැනි හා වැදගත්ම කාර්යය නම්, සියලු දෙනාම පරිසරය ආරක්‍ෂා කර ගැනිම සඳහා මෙහෙයවීම ය. මා පැමිණෙන්නේ බටහිර මිනිසුන් පමණක්නොව, ලාසා වල මිනිසුන් පවා පසුගාමී යැයි සලකන ප්‍රදේශයකිනි. මගේ පවුලේ අය ගතකළේ කටුක හා දුෂ්කර ජීවිතයකි. එහෙත් කිසිදා පාසලකට නොගිය මගේ පියා දිය ඇල්ලක්, දිය පාරක් ආරක්‍ෂා කිීමට නම්, ගස් සිටුවිය යුතු බව තම පියාගෙන් දැනගත්තේය. මා සිතන්නේ සොබාදහමට සමීපව ජීවත් වන දේශීය ජනතාව සොබාදහම රැකීම සඳහා උදව්වට ගත හැකි හොඳම උදවිය බව ය. පෘථිවිය රැකගැනීමට නම් අප එකිනෙකා අපගේ කොටස ඉටු කළ යුතුය. බාධක ඉවත් කොට පාලම් ඉදි කළ යුතුය. අප සියලුදෙනා සඳහාම නොවේ නම් අප පෘථිවිය ආරක්‍ෂා කළ යුත්තේ මක්නිසාද?
දෙවනුව, අපගේ ගල් අඟුරු, පෙට්‍රල්- ඩීසල් හා ගෑස් යන බලශක්තීන් භාවිත කිරීම අඩු කිරීම හා ඒ වෙනුවට වෙනත් ආදේශකයන් සොයාගැනීම ඉතාම අවශ්‍ය කරුණකි. එබඳු එක් මාධ්‍යයක් නම් සූර්ය බලශක්තියයි. එය හැකි තරම් ලාභ කිරීමට උත්සාහ කිරීම හා විදුලිය ආදී බලශක්තීන් භාවිත කිරීම වැඩිදියුණු කිරීමද වැදගත්ය. ටිබැට් රටේ පිහිටි ථ්සුර්ඵු නම් මගේ ප්‍රධාන පන්සල වාසනාවන්ත ය. ඒ, අපට බලශක්තිය සඳහා යොදාගැනීමට හැකි ස්වාභාවික උණුවතුර ඇළක් පන්සල සමීපයේ පිහිටා තිබීම නිසාය. මා දැන් වාසය කරන්නේ ඉන්දියාවේ බැවින්, අප උත්සාහ කරන්නේ මෙහි ඇති කර්ම කර්ග්‍යු පන්සල් සියල්ලම බලශක්තියෙන් ස්වයංපෝෂිත කිරීමටය. බෞද්ධ භික්‍ෂූන් භික්‍ෂුණීන්ගේ ලෝකයේ පරිසර ගැටලුවලට උදව් නොවන බව කීමට හැකි වීම ද ආඩම්බරයකි. අනාගතයේදී සෑම රටක්ම මෙම මට්ටමට එනු ඇතැයි සිතේ.
තුන්වනුව, ආසියාවේ බොහෝ ප්‍රදේශවලට ජලය සපයන ටිබැට් සානුව ආරක්‍ෂා කරගැනීමට උදව් වන ලෙසට විද්වතුන්ගෙන් හා (භාවනා) පුහුණුකරුවන්ගෙන් ඉල්ලා සිටීමට කැමතියි. මෙම පෙදෙසේ ජලයට තවමත් මිලක් නියම කර නොමැති බැවින් එය එතරම් ගණන් ගැනීමක් නැත. දැනටමත් බ්‍රහ්මපුත්‍ර ගංගාව තැනින් තැන හරස්කොට බැමි බැඳීම නිසා ප්‍රශ්න ඇතිවීමට පටන් ගෙන ඇත. ඉන්දු ගංගාව දැන් මුහුද දක්වා යන්නේ නැත. තුන්වැනි ධ්‍රැවය ලෙස ගතහොත් ටිබැටය දේශගුණික වෙනස්කම්වලට විවෘතව පවතී. එබැවින් එතැන සිදුවන දෙය ආසියාවේ වෙනත් බොහෝ රටවලටද බලපාන්නේය.
සිවු වැනිව, සාර්ථකත්වය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන නැවත සලකා බැලීමක් සාමූහිකව කළ යුතුය, සාර්ථකත්වය ආර්ථික වර්ධනය, සංවර්ධනය හෝ පෞද්ගලික ඇති හැකි බව යන කරුණු අරබයා විය හැක. වර්තමාන ආර්ථික වර්ධනයේ මොඩලය පවතින්නේ එදා වේල යොයාගෙන කන පුද්ගලයන් රාශියකට වර්තමාන ආර්ථික වර්ධනයේ මොඩලයට ළඟා විය නොහැක. බෙදා හදාගැනීම, කරුණාව, සාමය යන අගයන්ටද සාමාජිකත්වයන්ට හා ධනයට දෙන තැන ලබාදිය යුතුය. අප සාර්ථකත්වය සඳහා කරන වීර්ය කිරීම්වලට ස්වාභාවිකව ජන වර්ගයක් අයත් විය යුතුය. අප සියලු දෙනාටම එකසේ සහභාගි විය හැකි සංවර්ධනයක් හා සාර්ථකත්වයක් සඳහා පොදු අවබෝධයකින් යුතුව පරිපූර්ණ හා ප්‍රායෝගික ක්‍රම සොයාගත යුතුය.
අවසාන වශයෙන්, ලොව අනාගත ජීවිතය රඳා පවත්නේ වඩාත් සරල ලෙස ජීවත් විය හැකි අය මත ය. සරල ලෙස ජීවත්වීම යනු. තමාටම හා ලෝකයට කරුණාවන්ත වීමය. පරිසර සංරක්‍ෂණ හා කර්මඵල පිළිබඳ දෘෂ්ඨිකෝණයෙන් බලන විට භෞතික ද්‍රවවලින් පිරි, කරුණාවෙන් තොර ලෝකයක් සමග එය කළ නොහැකි බව පෙනේ. එහෙත් දැන්වීම් පුවරුවල ඇත්තේ, සතුට රඳා පවත්නේ එම වෙළෙන්දන් විකුණන බඩු මිලට ගැනීම මතය කියා ය. එබඳු දැන්වීම් වලින් කියවෙන පණිවුඩය ගැන අපට සැක සිතුණද, ඒවා හරි යයි අපට ඒත්තු ගැන්වීමට එම දැන්වීම් කරුවන් උපක්‍රම යොදා ඇත. ප්‍රශ්න ඇතිවන්නේ අපගේම සතුට, වස්තුවට හා පවුලට අප තුළ ඇති බැඳීම නිසා ය. ඒ කෙසේ වුවද, අප පුද්ගල ශුන්‍යතාව ගැන සිහියෙන් සිටිය හොත්, පුරුද්දට කරන භාවිතය වෙනුවට තෝරා ගැනීම සඳහා අවකාශයක් නිර්මාණය කළ හැක. අපට විකුණන ලද ජීවිතයක් අපට අවශ්‍ය නැත. සරල ලෙස ජීවත්වීම සඳහා නිර්භය තෝරා ගැනීමක් අපට කළ හැක.
සෑම ආගමකම මූලය වන්නේ එක සමාන මූලික මූලධර්ම කීපයකි, සරල ලෙස දිවි ගෙවන්න. කරුණාවෙන් යුතුව ක්‍රියා කරන්න. එකිනෙකාට කාරුණික වන්න. අපට ජීවය ලබාදුන් දෙයම විනාශ කර දමන්නැයි කිසිම ආගමක උපදෙස් දෙන්නේ නැත. එබැවින් ආගමික දෘෂ්ඨිකෝණයකින් බැලූ විට, අප සියලුම ජීවිත හා පෘථිවියද රැකගත යුතුය. මා අනුප්‍රාණය ලබන්නේ සියලු ජීවීන්ගේ යහපත සඳහා ක්‍රියාකිරීම හා ඔවුන්ටද ඒවාටද හානි කිරීමෙන් වැළකීම යන බුදුන්වහන්සේගේ ඉගැන්වීමෙනි. දලයි ලාමා තුමා ද කියා ඇත්තේ, මිනිස් ජීවිතය රැකගැනීම සඳහා තිබිය යුත්තේ විශ්වමය වගකීමක් බවය.
ශාන්තිදේවයන්ගේ බෝධිචර්යාවතාරය වර්තමාන බෞද්ධ මහායානිකයන්ගේ හා තන්ත්‍ර යානිකයන් සියුම් ලෙස හදාරන බව පෙනේ. බෝධිචර්යාවතාරයෙන් කෙරෙන්නේ, කරුණාව හා ප්‍රඥාව ශුන්‍යතාව තුළට වර්ධනය කිරීම හරහා බුද්ධත්වය සඳහා යන මාර්ගය එළිපෙහෙළි කිරීමයි. ගාථා මාර්ගයෙන් එහි කර ඇත්තේ සියලු ජීවී සත්වයන්ගේ හිතසුව පිණිස තම ආශාවන් හා අපේක්‍ෂාවන් අතහැර දමන්නට කැමති වන අයට අනුප්‍රාණයක් සැලසීමයි.
17 වැනි කර්මපා ලෙස එබඳු බුද්ධ ක්‍රියාකාරිත්වයක් පරිසර ආරක්‍ෂාව සඳහා ඍජුවම යොදාගත හැකි බවට මට විශ්වාසය. එම දෘෂ්ටිය ඇති පන්සල් හා මෙහෙණි ආරාම 40 කට වඩා අපට දැන් හිමාලය ආශ්‍රිතව ඇත. ඒවායින් ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ, කැලෑ එළිකිරීම, ජල හිඟය, වන සම්පත් වෙළඳාම, දේශගුණ වෙනස්කම් හා පරිසර දූෂණය වැනි පරිසර ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමය. ඒ සඳහා ලෝක වනජීවී අරමුදල ඇතුළු රජයේ නොවන සංවිධානවල ද උදව්ව ලබාගැනේ. කෙසේ වෙතත් මෙය සාගරයේ ජල බිංදුවක් පමණක් බවද අප දන්නා අතර, මෙහිදී අපට මුහුණ දෙන්නට ඇති දුෂ්කරතා ද අපට තනිව විසඳීමට අපහසු ඒවාය. පරිසරය රැකගැනීම සඳහා අප පිරිසිදු ජල බිංදුව බැගින් හෝ එක් කළහොත්, මේ මහා සාගරය කෙතරම් පවිත්‍ර වන්නේදැයි සිතා බලන්න.
ස්තුතිය.
මෙම ලිපිය සඳහා දෙන ලද උදව් පිළිබඳව ජේ. ස්ටැන්ලි (J. Stanley), ඩී. ගෝල්මන් (D. Goleman) හා ඩී. චුංග්‍යල්පා (D. Chungyalpa) යන අයට අපගේ කෘතඥතාව හිමිවේ.
කතුවරයා ගැන
මෙම කර්මපාතුමා, ටිබැට් බුදුසමයට අයත් කර්ම කර්ග්‍යු නිකායේ ප්‍රධානියා ය. ශුද්ධ වූ ඩග්යෙන් ටි්‍රංලේ දොර්ජේ කර්මපාතුමාට ලොව පුරා අනුගාමිකයෝ දසලක්‍ෂ ගණනක් වෙති. එතුමා අවුරුදු 900 ක් පමණ පරපුරක 17 වැනි පුනර්භවය හෙවත් පුනරවතාරය ලෙස සැලකේ. මෙම ලිපිය ලියන අවධිය වන විට එතුමාගේ වයස අවුරුදු 26 කි. ටිබැටයේ උපන් එතුමා 14 වැනි වියේදී ඉන්දියාවට පැන අවුත් ක්‍රි.ව. 2000 ජනවාරි මස පටන් එහි ජීවත්වීම ඇරඹීය. කැපවී වැඩ කරන පරිසරවේදියකු වූ එතුමා, පරිසර සංරක්‍ෂණය සඳහා කැපවුණු හිමාලය ආශ්‍රිත ටිබැට් ආරාම ගණනාවක නායකතුමා වන්නේය.
ආශ්‍රිත කෘති
- World Commission on Environment & Development - 1987 “අපගේ පොදු අනාගතය” වාර්තාව.
- World Commission on Environment & Development United Nations, New York Shantideva (ස්ටීවන් බැචුල ගේ පරිවර්තනය)
- 1987 "Guide to the Bodhisattva Way of Life." Library of Tibetian Works & Archives, Dharmasala, India.