![]() |
Sundaytimes.lk |
විශිෂ්ඨයන් ලෙස හදුනාගැනීමට කැමති අපි ශරීරය නම් භෞතිකය ඇසුරු කොට ජීවත් වෙමු. එම ශරීරය අපි ලෙසද හඳුනාගනිමු. එය අපගේ සැබෑ ස්වරූපය නොවුනද, පෘතුවියේ ජීවත්වන අප මනුශ්‍යයෝය. මනුශ්‍යයෝ වන අපි බොහෝ දේ මඟහැරියෙමු. බොහෝ දේ මඟහරිමින්ද සිටියි. නමුත් තවදුරටත් මගහැරිය නොහැකි අභියෝගයක් අප ඉදිරියට පැමිණ ඇත. එනම් මෙම ශරීරය පවත්වා ගෙන යෑමට අවශ්‍ය මූලික සාධක වන ආහාර, වාතය සහ දෙපා රඳවන මහපොළොව අහිමිවෙමින් තිබීමයි.
අප මඟහැරපු තැන් මෙන්ම වරදවාගත් තැන් ද බොහෝය. අපි මේ මහා සමස්ථයෙන් අපව විටක විශිෂ්ඨයන් ලෙසද, විටක උගතුන් ලෙසද, විටක බුද්ධිමතුන් ලෙසද යනාදී වශයෙන් භාෂාවේ ඇති වචන ගණන ඉක්මවූ අනන්‍යතාවයන්ට පොලාපනිමින් මහා සමස්ථයෙන් අපව වෙන්කර හඳුනාගන්නෙමු. නමුත් අප මේ මහා සමස්ථයේ තවත් එක් (නොවැදගත්) අංශුවක් පමණි. අපට එක මොහොතක්වත් හුස්ම නොගෙන ජීවත්විය නොහැක. අපගේ ජීවිතය එ් තරම්ම සියුම්ය. මේ සියලූම කොන්දේසි දූෂණය වන සංධර්භයක අපි අපටද අහිමි වේ - එහි මුව දොරට අපි පැමිණ සිටිමු.
විද්‍යාඥයන් ප්‍රකාශ කරන ආකාරයට පෙනෙනවාට වඩා ප්‍රශ්නය බැරූරුම්ය. ඒ වාගේම මහාචාර්ය කෙවින් ඇන්ඩර්සන්ට අනුව මේ ක්‍ෂෙත්‍රයේ නියැලී සිටින විද්‍යාඥයින් විසින් විවිධ හේතුන් මත තම පර්යේෂණ වාර්තා ස්වයං-වාරණයට ලක්කරමින් එම දත්ත සමාජගත වීම වලක්වමින්ද සිටියි. ඊට අනුව ප්‍රශ්නය මීටත් වඩා සංකීර්ණය. රෝග ලක්‍ෂණයක් ලෙස අප ඉදිරියට පැමිණ ඇති ඵම ප්‍රශ්නය නම් මිහිතලය උනුසුම් වීමයි. මිහිතලය උනුසුම් වීමට හරිතාගාර ආචරනයත් (greenhouse effect) මානව ක්‍රියාකාරීත්වයත් බලපායි. හරිතාගාර වායූන්ගෙන් තොරව පෘතුවි උශ්නත්වය සෙල්සිස් අංශක 18 වඩා අඩු බව සැලකේ. ප්‍රමුඛ හරිතාගාර වායූන් ලෙස, කාබන්ඩයොක්සයිඞ් (CO2), මීතේන්, ඡල වාෂ්ප, ඕසෝන්, සහ නයිට්රස් ඔක්සයිඞ් සලකයි. විශාල වශයෙන් පොසිල ඉන්දන දහනයෙන් කාබන්ඩයොක්සයිඞ් වායුගෝලයට මුදා හැරේ.
විද්‍යාඥයන් ප්‍රකාශ කරන ආකරයට 1960දී 313PPM (parts per million) වූ කාබන්ඩයොක්සයිඞ් 2013 දී 400PPM ඉක්මවිය. එය තවදුරටත් වේගයෙන් වැඩි වුවහොත් ලෝක ජනගහනයෙන් හරි අඩක් පමණක් වුවද මිය යාහැකි බව ප්‍රකාශ වෙයි. දැනටමත් චීනයේ වායු දූශණය නිසා දළ වශයෙන් දිනකට 4000ක පමණ පිරිසක් මිය යයි. එය චීනයේ සමස්ථ මරණ අනුපාතයෙන් 17% කි. චීන ජනගහනයෙන් 38% ආග්‍රාහණය කරන වාතය ශරීරයට අහිතකරය. පරිසර උශ්නත්වය ඉහළ යෑමේ සෘජු ප්‍රතිපලයක් ලෙස උත්තර සහ දක්‍ෂිණ ධ්‍රැවයන්ගේ අයිස් දියවී යෑම ප්‍රධාන තර්ජනයක් බවට පත්වී ඇත. නාසා ආයතනය ප්‍රකාශ කරන ආකාරය 1992 සිට වසරකට අඟල් 3 බැගින් මුහුදු මට්ටම ඉහළ ගොස් ඇති අතර අනාගතයේදී මීට වඩා දරුණු විය හැකි බව අනුමාන කරයි. එනයින් රටවල් අතුරුදහන් වීම වැඩි ඈතක නොවනු ඇත.
![]() |
Natural and Human Enhanced Greenhouse Effect |
ලාංකිකයන් වන අපි, සුනාමිය අත්දැක්කෙමු. දැන් දැන් අපට උශ්නත්වය තදින් දැනේ, බොහෝ ප්‍රදේශවල බීමට ජලය පවා හිඟවෙමින් පවතී. අපට වැසි ලැබෙන වකවානු වෙනස් වී ඇත. ඒනිසා ගොවීන් පීඩාවට පත්වී ඇත. ජලය විශවීම නිසා අනුරාධපුර ජනතාව මිය යමින් සිටියි. මේ තත්වය දිගටම මෙසේ පැවතිය හොත්, නියඟය, පාණීය ජලය හිඟවීම, මුහුදු මට්ටම ඉහළ යෑම, ජීවන පරිසරය අහිමිවීම සහ ආහාර හිඟය ප්‍රධාන ගැටලු බවට පත්වනු ඇත.
ලාංකිය සමාජය මෙම ගැටලුව එහි සැබෑ තීව්‍රතාවයෙන් හදුනාගෙන නැත. කණගාටුදායක තත්වය නම් සංවේදීයැයි හදුනාගත් පිරිස්ද මෙම ගැටලුව සම්බන්දයෙන් සංවේදී නොවීමයි. එක් යුගයක ලෝකය ධනවාදී කදවුර සහ සමාජවාදී කදවුර ලෙසට බෙදි තිබුනි. අප එක් කණ්ඩායමකින් සහෝදරයා විප්ලවය වන්නේ කවදාදැයි ඇසූ විට ඔවුන් කීවේ තවම වාස්තවික තත්වය මෝරා නැති බවයි. නමුත් මේ වන විට සියලු වාස්තවික තත්වයන් ධනවාදය සකසාදී ඇත. ඇති නැති පරතරය අහසට පොළව මෙනි. මහපොළව විශ වී ඇත. හුස්ම දූශණ වී ඇත. ලෙඩ රෝග ඉහ වහා ගොසිනි. මෙම ක්‍රමයට ඉන්දන සැපයූ සියලු ඉන්දන අවසන් වෙමින් පවතී. නමුත් වීදි හිස්ව ගොසිනි. විප්ලවවාදීන් සයිබර් අවකාශයට පලාගොස් ඇත. සමහර මාක්ස්වාදීන් ධනවාදීන් පස්සේ යමින් සමාජවාදය අයදිනු පෙනේ. බිලියන 7.2ක් ඉක්මවන ලෝක ජනගහනය පැරණි විදියට නඩත්තු කිරීමට නම් අති විශාල සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත. නමුත් අපේ සමහර සමාජවාදීන් කියන්නේ සියලු ජනතාවට ලැම්බෝගිනි දීම ඔවුන්ගේ දේශපාලනය බවයි.
අප මේ ආකාරයට අපගේ ජීවන විලාශය තවදුරටත් පවත්වා ගතහොත් වායුගෝලීය උශ්නත්වය සෙල්සිස් අංශක 6-8 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව විද්‍යාඥයන් ගේ මතය යි. එය ජීවයට සුදුසු තත්වයක් නොව ජීවය පෘතුවියෙන් අතුගෑවියෑමට සුදුසු තත්වයකි. පැරිස් සමුලුවේදී රටවල් 180ට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් වායුගෝලීය උශ්නත්වය ඉහළ යෑම ශතවර්ෂය පුරා සෙල්සිස් අංශක 2 මට්ටමින් පවත්වාගැනීමට එකඟ විය. මෙය සැබවින්ම මෙය යථාර්ථයක් කළ හැකි තත්වයක්ද?

අපට නව ජීවිතයක් තුළින් නව ලෝකයක් උදාකරගත හැක. එය උදාකර දෙන ගැලවුම්කරුවෙකු හමු නොවනු ඇත. එය අපගේ පුද්ගලික තීන්දුවක සාමූහික උත්සාහයක් වනු ඇත. ප්‍රථමයෙන්ම කළ යුත්තේ නව ලෝකයක් පිළිබඳව පර්යාවලෝකනය කිරීමයි. එහිදී අපට ජීවත්විම සඳහා අවශ්‍යම බඩු භාණ්ඩ පමණක් ප්‍රමාණවත් වනු ඇත. ලෝකය එකම සමස්ථයක් ලෙසත්, ඒ හැම දෙයම ජීවයෙන් පිරී ඇති බවත්, ගහ කොළ සතා සිව්පාවා ඇතුළු මේ සියලුදෙයට ආදරය කිරීමටත් එහි පැවැත්මට ගෞරව කිරීමටත් සිදුවනු ඇත. ප්‍රීතිමත්ව ජීවත්විමට බොහෝ මුදල්, බලය හෝ තත්වය අවශ්‍ය නොවනු ඇත. අඩුබල ශක්තියකින් ප්‍රමාණවත් ජීවිතයක් ගතකිරීමට හැකිවනු ඇත. අවම වශයෙන් තම භූමිය තුළ එක් බෝගයක් හෝ වගාකොට අනෙකා සමඟ බෙදා හදාගෙන පරිභෝජනය කිරීමට සිදුවනු ඇත. මේ මොහොත යනු නව ලෝකයක් වෙනුවෙන් අපට ඉතිහාසයේ මුණ ගැසුනු ස්වර්ණයම අවස්ථාවයි. වෙනස්කර ගැනීමට අප නැති බව තේරුම්ගිය විට අප බියෙන් නිදහස් වනු ඇත. එම නිදහසේ ශක්තිය තිරසාර නව ලෝකයකට මග විවර කරනු ඇත.
මූලාශ්‍ර:
රුවන් බස්නායක
(2016 කාලී සඟරාවේ දෙවන කලාපයේ පළ විය)
No comments:
Post a Comment